බුත්තල, පැල්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී ඇති බවත් එය මැග්නිටියුට් 3.0ක් පමණ වන බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ කම්පන පිළිබඳ නිරීක්ෂණ අංශය පවසයි.
මෙම භූ කම්පන තත්වය අද දහවල් 12.10 සිට 12.13 දක්වා විනාඩි තුනක පමණ කාලයක් පැවතී ඇති අතර එය වැල්ලවාය සහ හඳපානාගල ආදී ප්‍රදේශවලට දැනී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ මෙය සුළු භූ චලන තත්වයක් බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව බියක් ඇතිකරගත යුතු නැති බවත්ය. එමෙන්ම මෙරට පිහිටා ඇති භූ කම්පා මධ්‍යස්ථාන හතරේම එම කම්පනය සටහන් වී ඇතැයිද අනාවරණය කරයි.
එය ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදු වී ඇති කම්පනයක බව මූලික වශයෙන් හඳුනා ගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි.
බුත්තල උණාවටුන බෞද්ධාලෝක මහා පිරිවෙනේ චෛත්‍යරාජයාගේ සවිකර තිබු චුඩා මාණික්‍යය පුපුරා ගොස් චුඩාමාණික්‍යය සවිකර තිබු කොටස ගැලවී බිම ඇදවැටි තිබේ. ඇතැමි ප්‍රදේශවල නිවාසවල ජනෙල් වීදුරු වැටී ඇතැයි වාර්තා වේ.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් පවසන්නේ මෙම භූ කම්පනයේ අපිකෙන්ද්‍රය පැලවත්ත ලංකා සීනි කම්හල ආසන්නයේ බවට හඳුනා ගෙන ඇති බවය.
ඒ අනුව ඒ අවට ප්‍රදේශවලට අදාළ කම්පනය දැනී ඇතැයි සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.










