ජනතා විමුක්ති පෙරමුණේ මහජන සම්බන්ධීකරණ කාර්යාලයක් අද (09) දින පෙරවරුවේ එම පක්ෂයේ ජාතික සංවිධායක, බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය නගරයේ අංක 173, කොලුම්බුත්තුරෛ වීදිය, පාන්ඩියන්තාල්වු, යන ලිපිනයේ ඇරඹීය.
එම අවස්ථාවට යාපනය, කිලිනෝච්චිය ජවිපෙ සංවිධායකයින් හා සාමාජිකයින් මෙන්ම උතුරු ප්‍රදේශයේ පැරණි වමේ සාමාජිකයින්, ව්‍යාපාරිකයින් මෙන්ම සිවිල් ජනතාව විශාල පිරිසකගේ සහභාගී වූ බවත් 1982න් පසුව එම පක්ෂයේ කාර්යාලයක් යාපනය නගරයේ ඇරඹූ පළමු අවස්ථාව මෙය බවත් එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී බිමල් රත්නායක මහතා කළ කතාව ජවිපෙ මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කළේය.
බිමල් රත්නායක මහතා ඉදිරිපත් කර ඇත්තේ මෙම කාර්යාලය විවෘත කිරීම ජාතික සමගියේ සංකේතයක් වන අතර අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු රැස් කිරීම, වැන්දඹුවන්, ධීවරයන්, ශිෂ්‍යයන්, තරුණයන් ඇතුළු සියලුම ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව වාර්තා ලබා ගෙන විසඳුම් සෙවීම සඳහා ජාතික අවධානය යොමු කිරීමට ක්‍රියා කරන බව පැවසීය.
1948 සිට ධනපති නායකයින් බලය ලබා ගැනීම සහ පවත්වාගෙන යෑම සඳහා ජාතිවාදය වැපිරූ බවට එම නිසා උතුරේ තරුණයින් අයුධ අතට ගැනීමේ අන්තය කරා තල්ලුකර හැරි බවත් එය දකුණේද එලෙසම සිදු වූ බවත් පැවසීය.
ඉතිහාසයේ පළමු වතාවට පසුගිය ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාව දකුණේ ජනතාව සහ වතුකරයේ ජනතාව යන සියලු දෙනා එකට එක් වී ජනාධිපතිවරයකු පත්කර ගත් බවත් එහෙත් මේ වනවිට දූෂිතයන්ට තනතුරු ලබා දෙමින් ජනවරමට පිටුපාන තත්වයක් උදා වී ඇති බව බිමල් රත්නායක මහතා පැවසීය. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව උතුරේ ජනතාවට මවා තිබූ සම්පූර්ණයෙන් විකෘති කරන ලද චිත්‍රය වෙනස් කරගනිමින් ජාතික සමගිය ගොඩනැගීම සඳහා සහ ජාතික ආර්ථිකයේ ප්රතිලාභ සාධාරණ ලෙස බෙදී යෑම තහවුරු කෙරෙන ජනතා විමුක්ති පෙරමුණ වටා ඒකරාශී වන ලෙසට ඉල්ලීමක් කළේය.













