ජනතා විරෝධය හමුවේ රටෙන් පලාගොස් සිට පසුව ජනාධිපති ධුරය අත්හරින ලද ගෝටාබය රාජපක්ෂට ලබන දෙසැම්බර් මස 16 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) නියෝග කර තිබේ.
ඒ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව වගඋත්තර පාර්ශවයේ කරුණු දැක්වීම සඳහාය.
මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඔහුගේ බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් යන අය විසිනි.
මීට පෙරද අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කරමින් ගෝටාබය රාජපක්ෂට නොසීති නිකුත් කර තිබූ නමුත් එව නොතීසිය බාරගැනීමට නොහැකි බව දන්වමින් ආපසු හරවා එවා තිබිණි.










