උදයංග ගැන හොයන්න කමිටුවක්?

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා කමිටුවක් පත් කරන බව වැඩබලන විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වනනවිට අතුරුදන්ව සිටින උදයංග වීරතුංග සොයා ගැනීම සදහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර පොලිසියේද සහය ලබාගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ පත්කරනවා යැයි පවසන කමිටුව තවමත් පත් කර නැති බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ මැතිවරණ වේදිකාවේදී දිගින් දිගටම වංචා හා දූෂණ සිදුකළ දේශපාලනඥයින් සහ නිලධාරීන් ගැන විවිධ කතා පැවැත්වුවද බලයට පැමිණ දින 90ක් පමණ ගෙවෙමින් පවතින බවත් එම දින 90න් වැඩි කාලයක් ගත කර ඇත්තේ මැති ඇමති තනතුරු පත් කිරීම බාරගැනීම සහ ඒ ඒ අමාත්‍යාංශවල වැඩ බාරගැනීමේ උත්සව සඳහා බවත්ය.

ඇවන් ගාඩ් අවි වෙළඳාම, උදයංග වීරතුංග හා එල්ටීටීඊ අවි වෙළඳාම අතර යම් සම්බඳතාවයක් පවතින්නේදැයි මේ වනවිට සමාජයේ දැඩි සැකයක් ගොඩනැගෙමින් පවතින බවත් බලයට පැමිණි වහාම පරීක්ෂණ කළ යුතු අතිශය සංවේදී සිදුවීම් තවමත් ප්‍රමාද කිරීම තුළ ජනතා අපේක්ෂා බිඳවැටෙමින් පවතින බවත් එම විචාරකයින් වැඩිදුරටත් සඳහන් කරයි.

උදයංග වීරතුංග නැමැත්තා රාජපක්ෂවරුන්ගේ සමීපතම ඥාතියෙකු වන අතර ඔහුට, ශ්‍රී ලංකන් ගුවන් සේවයට සම්බන්ධවත් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ ලේකම්වරයෙකුගේ ඝාතනය පිළිබඳවත් සහ යුක්රේන කැරලිකරුවන්ට අවි සැපයීම යන චෝදනා එල්ල වී තිබේ.

Facebook
Twitter
LinkedIn