ශ්‍රී ලංකාව ලබන වසරේ මාර්තු මස බංගලාදේශයට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල, ශ්‍රී ලංකාව නියමිත වේලාවට ආපසු ගෙවනු ඇතැයි බංගලාදේශය බලාපරොත්තු වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
“බීඩී නිවුස් 24” පුවත් සේවය වාර්තා කරන ආකාරයට විදේශ මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල, ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නියමිත වේලාවට ආපසු ගෙවා නිම කිරීමට නොහැකි වූ බවත් බංගලාදේශය දෙවරක් ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ණය ගෙවීමේ කාලය දීර්ඝ කළ බවත් බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් පවසා ඇත.
ශ්‍රී ලංකාව, එම ණය මුදල ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වාරික තුනකින් ආපසු ලබා දීමට නියමිත බව බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් ප්‍රකාශ කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් මහතා අතර පැවති හමුවේදී ශ්‍රී ලංකාව නියමිත පරිදි ගෙවීමට ඇති දිනයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ආපසු ගෙවන බවට සහතිකයක් ලබා දුන් බවද බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් සඳහන් කර ඇත.










