ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් දරිද්‍රතා සීමාවෙන් පහළට වැටී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය කළ නවතම අධ්‍යයනයකදී හෙළි වී තිබේ.
මේ වසරේ ජනවාරි මාසය වනවිට මෙරට සිටි දුප්පතුන් සංඛ්‍යාව තිස්ලක්ෂ හතලිස් දෙදහස් තුන්සියයක් (3,042,300) වූ බවත් එම පිරිස මේ වනවිට අනූහයලක්ෂ අනූදහසක් (9,690,000) වී ඇති බවත් තම අධ්‍යයනයෙන් හෙළි වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මව්බිම පුවත්පත වෙත පවසා ඇත.
2019 ජනවාරි සිට 2021 දෙසැම්බර් දක්වා දරිද්‍රතාවෙන් පෙළෙන පවුල් සංඛ්‍යාව වෙනසක් සිදු නොවූයේ යැයිද, 2022 ජනවාරි සිට තම අධ්‍යයනයට ලක් කළ ජූලි මාසය දක්වා කාලය තුළ විශාල වශයෙන් දරිද්‍රතාව වැඩි වි ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.
2019 වනවිට දරිද්‍රතා සීමාවෙන් පහළ සිටි පවුල් හයලක්ෂ අසූ එකදහස් අටසියයක් (681,800) වූ අතර එය 2021 අවසන් වනවිට හත් ලක්ෂ පනස්දහද (750,000) වූ බව සඳහන් කරන මහාචාර්යවරයා එය ගත වූ මාස 07 තුළ පවුල් විසි හතර ලක්ෂ විසි දෙදහස් පන්සියය (2,422,500)ක් දක්වා වර්ධනය වූයේ යැයිද පවසයි. 2021 වර්ෂය ආරම්භයේදී එක් පුද්ගලයකුට මාසයක් ජීවත්වීමට අවශ්‍ය අවම වියදම රුපියල් හත්දහස් නවසිය දහනවයක් (රු. 7,919) වූ අතර එය 2022 ජූලි මාසය වනවිට රුපියල් දහතුන්දහස් එකසිය තිස් අටක් (රු. 13,138) වී ඇතැයිද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කරයි.
ඒ අනුව, සාමාන්‍ය පවුලකට 2021 අවසානය වනවිට මාසයක් ජීවත්වීමට අවශ්‍ය අවම වියදම රුපියල් විසිනවදහස් දෙසිය හැත්තෑ අටක් (රු. 29,278) වූ අතර එය මේ වනවිට රුපියල් හතලිස්අටදහස් හයසිය එකොලක් (රු. 48,611) වී ඇතැයිද ඔහු පවසයි.
සෑම වසර තුනකටම වරක් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් දරිද්‍රතාව පිළිබඳ සමීක්ෂණය කරන බවත් 2019 අවසන් වරට සිදු වූ එම සමීක්ෂණය මේ වසරේදී කළ යුතු නමුත් එම දෙපාර්තමේන්තුව මේ වසරේදී එම සමීක්ෂණය සිදු නොකරන බැවින් තමන් එය සිදු කළ බවත් මහාචාර්යවරයා පවසයි.
එමෙන්ම ලෝක බැංකුව මෑතකදී ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ සොයා බැලීම මෙම අධ්‍යයනයේ අරමුණක් යැයිද ඔහු සඳහන් කරයි.










