මෛත්‍රීගේ රිට් පෙත්සම සලකා බැලීම කල් යයි

මෛත්‍රීගේ රිට් පෙත්සම සලකා බැලීම කල් යයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකාබැලීම හෙට (11) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (10) නියෝග කර තිබේ.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.

එම පෙත්සම අද දින සලකාබැලීමට නියමිතව තිබුණත් එය අද කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම නඩුවට අදාළ ලේඛන තමන් වෙත ලැබුණේ සති අන්තයේ බවය.

ඒවා අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම හෙට දින දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කෙරුණි.

සිරිල් ගාමිණි පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයෙක් වූ බවට පත්වූ පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකාබැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය එහි වගඋත්තරකරු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඔක්තෝම්බර් මස 14 වනදා අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා සිතාසි නිකුත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn