සමාජය බිය ගැන්වීම අසාර්ථක පාලකයන්ගේ දශක ගණනාවක් පැරණි උපක්‍රමයක් බවත් අද එය සිදු කළ නොහැකි බවත් රට තුළ මතුවන ආර්ථික අස්ථාවරත්වය විසින් ඇතිවන ජනතා නැගිටීම මෙවැනි බියගැන්වීම්වලින් වැලැක්විය නොහැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසූවේ ජාතික ජන බලවේගය විසින් බණ්ඩාරවෙල ආසනයේ සංවිධානය කරන ලද පසුගිය 28 වනදා පැවති “අර්බුධයට විසඳුම” දේශපාලන කතිකාවට එක්වෙමිණි.
මෙම අවස්ථාවට සිවිල් සංවිධාන ක්‍රියාදරයින්, වෘත්තිකයින්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, බදුල්ල දිස්ත්‍රික් විධායක සභික සමන්ත විද්‍යාරත්න ඇතුළු බොහෝදෙනෙක් එක්වී සිටියහ.
එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මේ සම්බන්ධයෙන් තව දුරටත් දැක්වූ අදහස්,
“අසාර්ථක පාලකයෝ රට පාලනය කරන්න කැමති සමාජය බියගන්වලා. ශෝෂල් ෆෝබියා එකක් හදනවා. ඒක එක උපක්‍රමයක්. දැන් අපේ එරංග සහෝදරයගේ පොටෝ එකක් දාල කියනවා මෙයා කවුද කියලා. මේ එරංග දන්නෙ නැද්ද? අපේ එරංග සහොදරයා දන්නවා. පොලීසිය දන්නෙ නැද්ද? දන්නවා. හැබැයි දන්නගමන් ඡායාරූපයක් දානවා මෙයා අපි හොයනවා කියලා.
ඒ අයිමේ? මේ ඔක්කොම කරන්නේ බය කරන්න. සමාජය බියගැන්වුනාම මුහුවෙන්නේ නැහැ. එකිනෙකා කතා කරන්නේ නැහැ. දුරකථනයකින් දුරකථනයකට කතාකරන්නේ නැහැ. හන්දියක කතා කරන්නේ නැහැ. කියන්න බැහැ අරන් යයිද? ඒ නිසා මේ සැලැස්ම තියෙන්නේ ඒ ගොල්ලො සමාජය බියගන්වන්න.
ඒ නිසා මම හිතන්නේ, ඔය බිය ගන්වලා පාලනය කරපු. මර්දනය කරමින් කරපු පාලනය සෑහෙන්න පැරණි පාලනයක්. දශක ගණනාවක් පැරණියි. ඒක නිසා දැන් කරන්න බැහැ.
මෙතන දේශපාලන අස්ථාවරබාවයක් මතු වීමේ ඉඩ තියෙනවා. ආර්ථික අස්ථාවරතාවයක් මතුවෙනවා. ඒක විසින්, ඔය කුඩා කුඩා කෙඳිරිලිවලින්, බියගැන්වීම්වලින්, අත්අඩංගුවට ගැනීමෙන්, නම් ප්‍රකාශ කිරීමෙන්, ජනතාවගේ නැගිටීම වලක්වන්න බැහැ කියලා මම හිතනවා.”



















