මහින්දට ශ්‍රිලනිපයේ විරෝධය – ප්‍රසන්න පෙරමුණේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙවැනි පෙළ නායකයෙකු අවශ්‍ය බවත් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඉදිරිපත් කිරීමට තමන් දැඩි සේ විරුද්ධ වන බවත් බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසූවේ ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “පසුගිය කාලයේදී දෙවැනි පෙළ නායකයෙකු නිර්මාණය කර ගැනීමට උත්සාහ නොගත් නිසා එම අඩුව මේ වනවිට පක්ෂයට දැනී තිබෙනවා.

පක්ෂයට හොඳ නායකයෙක් පත්කර ගැනීම සඳහා විධායක සභාව, මධ්‍යම කාරක සභාව වගේ තැන්වල සාකච්ඡා කරලා තීරණයකට එන්න පුළුවන්. අපි හිතුවෙ නැහැ මේ ජනාධිපතිවරණය පරදීවි කියලා. ඒ නිසා පසුගිය කාලේ දෙවැනි පෙළ නායකයෙක් හැදුවේ නැහැ. ජනාධිපතිවරනය දිනුවට පස්සෙ දෙවැනි පෙළක් හදන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා හිතන්න ඇති. නමුත් දැන් ඒකට පරක්කු වැඩියි.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ප්‍රධාන අමාත්‍යවරුන් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් විශාල පිරිසක් විසින් මේ පිළිබඳව පක්ෂයට දන්වා ඇතැයිද ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු බොහෝ පිරිසක් ජනාධිපතිවරණ අවසන් වී ගත වූ අාසන්න දින කිහිපයේ වැඩි වශයෙන් අදහස් දැක්වේ මහින්ද රාජපක්ෂ මහතාට හිතවාදී ආකාරයටය. ඔවුන් ජනාධිපතිවරණ සමයේ කටයුතු කළේද මහින් රාජපක්ෂ පිල ‍නියෝජනය කරමිණි.

Facebook
Twitter
LinkedIn