හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුකම්පාව අයදින මාධ්‍ය නිවේදනයක් අද (27) නිකුත් කර තිබේ. මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් පූජකතුමන්ලා සහ ජනතාව ආමන්ත්‍රණය කරමින් එය නිකුත් කර තිබෙන අතර මේ වනවිට ඔහුගේ පාලනය තුළ සිදු කළ බරපතල වංචා සහ දූෂණ සම්බන්ධයෙන් නිර්දෝෂී භාවය ප්‍රකාශ කිරීමට උත්සාහ කර ඇත. ” ධූරයෙන් ඉවත් වූ පසුවත් මට නිවී සැනසිල්ලේ සිටිය හැකි වාතාවරණයක් නැත.” යනුවෙන්ද ඔහු සඳහන් කර තිබේ.
ආරම්භක ඡේදයේ ” නමුත් මෙහිදී සිදුවන්නේ ජනමාධ්‍ය හරහා ද්වේශ සහගත මඩ ගැහීමක් බව කිව යුතුය. පෙර කිසිදාක නොවූ විරූ අවලාද ව්‍යාපාරයෙන් රටේ මහජනතාව නොමඟ යෑම වැළැක්වීම පිණිස මේ කාරණා ගැන යම් පැහැදිලි කිරීමක් කිරීමට කැමැත්තෙමි. ” යනුවෙන් සඳහන් වේ. මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කලද හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට ප්‍රවේශ වීමත් සමග සහ අගවිනිසුරු ශිරාණී බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දේශපාලන දෝෂාභියෝගයක් ගෙන ඒමත් සමග ඔවුන්ට එල්ල කළ දැවැන්ත අවලාද සහ අපහාසාත්මක ප්‍රචාරයන් හිටපු ජනාධිපතිවරයාට අමතකව ඇති බව පැහැදිලි වේ.
මේ වනවිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේත් අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ ඉදිරියේත් පසුගිය ආණ්ඩුවේ විවිධ පුද්ගලයින් විසින් සිදුකරන ලද වංචා සහ දූෂණ සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා පිළිබඳව යම් ආකාරයක නිදහසේ මාධ්‍ය වාර්තා පළ කෙරෙමින් තිබේ. එම තත්වය දරාගත නොහැකිව මහින්ද රාජපක්ෂ මහතා මෙම නිවේදනය නිකුත් කර ඇති බව පැහැදිලි වේ.
එමෙන්ම ඔහුගේ පාලන සමය තුළ සිදුකරන ලද ක්‍රියා ගණනාවක් පිළිබඳව පිළිගැනීමක්ද එම නිවේදනයේ දක්නට ලැබේ.












