ගෝල්ෆේස් පිටියේ පවත්වාගෙන ගිය සාමකාමී උද්ඝෝෂණයට සංවිධානාත්මකව ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පවතින අපරාධමය චෝදනා යටතේ අදාළ ප්‍රහාරකයින් මේ දක්වා අත්තඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් රට පුරා විරෝධයක් එල්ල වෙමින් තිබේ.
මේ වනවිට නීතිපතිවරයා, නීතිඥ සංගම්, වෙනත් බහුජන සංවිධාන සහ ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන ව්‍යාපාර එම අපරාධකරුවන් අත්තඩංගුවට ගන්නා ලෙස වගකියයුත්තන්ට බල කර ඇත. එහෙත් පොලිස්පති වරයා ඇතුළු මූලික වගකියයුත්තන් ප්‍රහාරයෙන් දින තුනකට පසුවත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
දේශපාලන මැරයන් සංවිධානය කිරීම සහ ප්‍රහාරයට යෙදවීම සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සංජිව එදිරිමාන්න, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු දේශපාලඥයින් ගණනාවක් අපරාධමය ක්‍රියාවක් සම්බන්ධයෙන් ඍජුවම චෝදනා ලැබ සිටී.
ඊට අමතරව ඍජුවම එම ප්‍රහාරයට සම්බන්ධ වී රාජකාරිය පැහැර හැරි බවට බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අපරාධමය චෝදනා එල්ල වී තිබේ. මේ අතර පොලිස්පතිවරයා, යුද හමුදාපතිවරයා, බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු ඉහල පෙළේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවා ප්‍රකාශ ලබාගෙන ඇත.










