ලබන 18 වනදා පත්කිරීමට නියමිත කැබිනට් මණ්ඩලයේ තනතුරු කිසිවක් බාරනොගැනීමට චන්න ජයසුමන, රමේෂ් පතිරණ, ඩලස් අලහප්පෙරුම සහ පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් අනාවරණය වේ.
මේ අතර පවිත්‍රා වන්නිආරච්චි හමුවීමට ජනාධිපතිගේ විශේෂ නියෝජිතයෙකු අද (16) දහවල් ගොස් ඇති බව හෙළි වේ. රාජ්‍ය ඇමති සීතා අරඹේපොලට කැබිනට් ඇමති තනතුරක් ලබා දීමේ සූදානමක් තිබෙන අතර ඇයද ඒ සම්බන්ධයෙන් අවසන් උත්තරයක් ලබා දී නැති බව ආණ්ඩුවේ සමීප ආරංචිමාර්ගවලින් හෙළිවේ. මේ අතර කැබිනට් ඇමති ධුරයක් භාර නොගන්නා බව බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර ඇතැයිද මාධ්‍ය වාර්තා පල වේ.
තරුණ මන්ත්‍රීවරුන්ට වැඩිවශයෙන් වගකීම් පැවරීමට ආණ්ඩුවේ ප්‍රබලයන් තීරණය කර තිබුණද එවැනි වගකීම් පැවරීමට සුදුස්සන් සොයා ගැනීම බරපතල ප්‍රශ්නයක් වී ඇත. මේ වනවිට ජනාධිපතිවරයාට අතිශයින්ම සමීපව සියටලු කටයුතු සඳහා උපදෙස් දෙමින් සිටින්නේ මහින්දනන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන තිදෙනාය. ඔවුන්ගේ උපදෙස් අනුව පිහිටුවන ඇමති මණ්ඩලයක කිසිදු තනතුරක් බාරනොගැනීමට තවත් විශාල පිරිසක් තීරණය කර ඇති බව අද පස්වරුව වනවිට වාර්තා වී තිබිණ.










