“ආයුධ ලබාදෙමින් සාමය උදාකරගත නොහැක”! චීනයෙන් බයිඩන්ට පිළිතුරු!

“ආයුධ ලබාදෙමින් සාමය උදාකරගත නොහැක”! චීනයෙන් බයිඩන්ට පිළිතුරු!

මාර්තු 18 වැනිදා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා චීන ජනාධිපති ෂී ජන්පින් අතර යුක්රේන අර්බුධය සම්බන්ධව පැය දෙකක් පුරා පැවතුනු දුරකථන සාකච්චාවේදී එජා සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් දෙදෙනකු ලෙස හා ආර්ථික වශයෙන් දියුණු රටවල් දෙකක් ලෙස මෙවැනි උග්‍ර අර්බුධයකදී වඩාත් වගකීමෙන් පියවර ගත යුතු බවත් යුද්ධය තමන්ගේ පිළිතුර නොවන බවත් ලෝකය තුළ සාමය හා ආරක්ෂාව ඇති කිරීම සඳහා දෙරට අතර මීට වඩා සහයෝගයක් අවශ්‍ය බවත් චීන ජනාධිපතිවරයා ඇමරිකාවට අවධාරනය කර ඇත. ඇමරිකානු ජනාධිපතිවරයා විසින් රුසියා-චීන සහයෝගිතාව සම්බන්ධව සිදුකරන ලද විවේචනයකට පිළිතුරු ලෙස චීන ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇත.

මේ වනවිට රුසියාවට එරෙහිව යුරෝපා සංගමය හා ඇමරිකාව විසින් පනවා ඇති ආර්ථික සම්බාධක සක්‍රිය කිරීම සඳහා ලොව පුරා රටවල් තම රුසියානු විරෝධී කඳවුරට එක්කර ගැනීමට නොහැකි වී ඇති ප්‍රධාන බාධකය වී ඇත්තේ චීනය හා රුසියාව අතර ඇති ආර්ථික, ආරක්‍ෂක හා රජතාන්ත්‍රික සම්බන්ධතාවයයි. කෙසේවෙතත් ඇමරිකාව උත්සහ කරමින් සිටිනුයේ රුසියානු-යුක්රේන අර්බුධය හුවා දක්වමින් චීනයත් යුද්ධයට තල්ලු කරමින් ලෝක වෙළඳපලෙන් චීන නිෂ්පාදන ඉවත් කර ගැනීමට යන්න මේ වනවිට යුරෝපා මාධ්‍ය විසින්ද වාර්තා කරමින් සිටි.

කොරෝනා වසංගතයත්, ලෝක වෙළඳ සංවිධානය තුළ චීනය බලවත් වීමත් මත ඇමරිකාව පසුවනුයේ දැඩි ආර්ථික අවපාතයක හා උද්ධමනයකට මුහුණ දෙමිනි. ලෝක වෙළඳ සංවිධානයහි සාමාජිකත්වය ලබා වසර 20ක් පිරිණු 2022 වර්ෂය වනවිට 2001දී ඩොලර් බිලියන 1200කින් ආරම්හ වූ ප්‍රාග්ධනය ඩොලර් බිලියන 14,300ක් දක්වා ඉහළ නංවා ගනිමින් ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත් වීමට චීනයට හැකි වී ඇත. එම කාලය තුල ඇමරිකාව තුල රැකියා මිලියන දෙකක් එරටට අහිමි වී ඇති අතර ප්‍රංශයට පමණක් රැකියා 270,000ක් අහිමි වී ඇත.

මෙම රැකියා අහිමිවීමට ඍජුවම බලපා ඇත්තේ චීන බහු ජාතික සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා ලෝක වෙළඳ සංවිධානයේ නිදහස් වෙළඳ සංචරණය අකුරටම පිලිපදිමින් ඇමරිකානු හා යුරෝපීය වෙළඳපල ආක්‍රමණය කිරීමයි. චීන ආනයනයන් සීමා කරමින් හා නව රේගු ගාස්තු හා බදු අයකරමින් චීන නිෂ්පාදන ලෝක වෙළඳපලින් ඉවත් කිරීමට ට්‍රම්ප්ද උත්සහ කරනු ලැබුවේ මේ නිසාවෙනි. ට්‍රම්ප් විසින් ආරම්හ කරන ලද මෙම ක්‍රියාවලිය බයිඩන් පාලනය විසින්ද තවමත් සිදු කරමින් සිටිනුයේ ලෝක වෙළඳපලහි තනි අයිතිය පවත්වා ගැනීමට චීනය දරනා උත්සාහයට එරෙහිව සීතල යුද්ධයක් සියළු යුධ, ආර්ථික, දේශපාලන සියළු පෙරමුණු තුළ සටන් දියත් කරමිනි.

එසේම යුක්රේන අර්බුධය හුවා දක්වමින් යුරෝපා සංගමයේ රටවලට ආයුධ විකිණීම වේගවත් කරමින්, තමන්ගේ ෂෙල් ගෑස් මිලදී ගැනීමට බල කරමින් ඇමරිකාව උත්සහ කරමින් සිටිනුයේ මේ වන විට එරට මුහුණ දෙමින් සිටින ආර්ථික උද්ධමන (6%-10%) තත්වය හේතුවෙන් ඇමරිකානු ජනතාවගෙන් එල්ලවන විරෝධය සමනය කර ගැනීමටයි. ඒ අතර චීනය තායිවානය ආක්‍රමණ කිරීමකට තල්ලු කිරීමට හෝ යුක්රේන අර්බුධයේදී චීනය රුසියාව සමග සිටින බවට හුවා දැක්වීමට ඇමරිකානු මාධ්‍ය මේ වනවිට දැඩි උත්සහයක් දරමින් සිටි.

ඒ අතර Newyork Time පුවත්පත රුසියාව විසින් චීනයෙන් රහසේ යුධ ආධාර ඉල්ලා ඇති බවට කිසිදු පිළිගත හැකි සාක්‍ෂියක් නොමැති මාධ්‍ය වාර්තාවක් පසුගිය සතියේ ඉදිරිපත් කර සිටියේය. මෙම වාර්තාව චීනය හා රුසියාව ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේ රුසියාවට චීනයෙන් යුධ ආධාර ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කරමිනි. මෙම වාර්තාව සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken විසින්ද මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ යුක්රේන අර්බුධයේදී චීනය රුසියාවට යුධ ආධාර ලබාදෙනු ලැබුවහොත් චීනයට එරෙහිවත් ආර්ථික සම්බාධක පැනවීමට තමන් පසුබට නොවන බවයි.

මෙම ඇමරිකානු උගුල හොඳින් හඳුනා ගෙන ඇති චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ජෝ බයිඩන් සමග පැවති තම දුරකථන සංවාදයේදී වැඩි දුරටත් පවසා ඇත්තේ යුද්ධයට මැදිවී සිටින එක් පාර්ශ්වයකට ආයුධ ලබා දෙමින් සාමය තහවුරු කළ නොහැකි බවත් යුක්රේන-රුසියානු යුද්ධය හේතුවෙන් දැඩි පීඩාවට පත්ව ඇති යුක්රෙන ජනතාව වෙනුවෙන් තමන් ඖෂධ, ඇඳුම් හා වියලි ආහාර යැවීමට තීරණය කර ඇති බවත්ය. සාමය සඳහා රුසියාව සමග සංවාදයකට අවතීර්ණ වන ලෙස චීන ජනාධිපතිවරයා ජෝ බයිඩන් වෙතින් තවදුරටත් ඉල්ලා සිට ඇත.

කෙසේවෙතත් තමන් අපේක්‍ෂා කරනු ලැබූ පිළිතුර නොලැබීම නිසාවෙන් ඇමරිකාව සෑහීමකට පත්වී නොමැති බව පැහැදිලි වනුයේ මෙම දුරකථන සංවාදයෙන් පසු දිනයේ එනම් මාර්තු 19 වන දින චීන – තායිවාන සමුද්‍ර සන්ධිය තුළදී ඇමරිකානු යුධ නෞකාවක් වන Ralph Johnson විසින් නිරීක්ෂණ චාරිකාවක් යයි පවසමින් සිදුකරන ලද චාරිකාව මගින් චීනය නැවතත් කුපිත කිරීමට ඇමරිකාව උත්සහ කරලීම නිසාවෙනි.

Facebook
Twitter
LinkedIn