ආහාර ද්‍රව්‍ය මිල තරු පෙන්වයි

ආහාර ද්‍රව්‍ය මිල තරු පෙන්වයි

වෙළඳපොළේ සහල් මිල දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයිද සිංහල අලුත් අවුරුදු සමරන්නට කිරිබතක් නොව බතක් උයා ගැනීමටවත් නොහැකි තත්වයක් උදා වී ඇතැයිද පාරිබෝගිකයෝ මැසිවිලි නගති. සහල් මිල ඉහළයාම සම්භන්දයෙන් අප වෙළදපොළේ සොයා බැලීමක් කළ අතර සුපිරි වෙළදසැල් බොහොමයක සුදු කැකුළු සහ රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 190ක් ලෙස සඳහන් වී තිබිණි.

ඇතැම් සුපිරි වෙළදසැල්වල සුදු සහ රතු කැකුළු සහල් නොතිබුණු අතර ඒවායේ තිබුණේ ආනයනික සුදු කැකුළු පමණකි. එහි කිළෝවක මිල රුපියල් 142ක් ලෙස සටහන් වී තිබුණි. සුපිරි වෙළදසැල්වල රතු කැකුළු සම්බා කිලෝවක මිල රුපියල් 190ක් ලෙසද රතු නාඩු සහල් කිලෝවක් රුපියල් 155ක් ලෙසද, නාඩු කිලෝවක මිල රුපියල් 188ක් ලෙසද අලෙවි විය.

සතොස වෙළදසැල්වල ආනයනික රතු කැකුළු, සුදු කැකුළු වර්ග දෙකම කිලෝව රුපියල් 105ක් ලෙසද ආනයනික සුදු කැකුළු සම්බා කිලෝවක මිල රුපායල් 130ක් ලෙසද පැවතිණි. එහි ආනයනික නාඩු කිලෝවක මිල රුපියල් 105ක් ලෙස පැවතිණි. එහෙත් සතොස වෙළදසැල් බොහොමයක සහල් මිල ගණන් ප්‍රදර්ශනය කර තිබුණද අලෙවි කිරීමට නොතිබිණි.

ඇතැම් සුපිරි වෙළදසැල්වලද ආනයනික නාඩු පැවතිය අතර එහි කිලෝවක මිල රුපියල් 145ක් විය. ආනයනික සුදු සම්බා කිලෝවක මිල 150ක් ලෙස සඳහන්ව තිබුනි. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්තානයේ සහල් මිලද සුපිරි වෙළදසැල්වල මිලට යම් සමානකමක් දැරීය. එහි රතු කැකුළු හා සුදු කැකුළු යන හාල් දෙවර්ගයේම කිලෝවක මිල රැපියල් 180ත් 185ත් අතර විය. රතු නාඩු හා රතු සම්බා කිලොවක මිල රුපියල් 185ක්ද, සුදු සම්බා කිලෝවක මිල රුපියල් 180ක්ද ලෙස පැවති අතර, ඉන්දීය ආනයනික සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 150ත් 155ත් අතර විය.

මේ අතර සුපිරි වෙළදසල්වල පරිප්පු කිලෝව රුපියල් 390ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සතොස වෙළදසැල් වල එය රුපියල් 360කි. සුපිරි වෙළදසැල්වල සුදු සීනි කිලෝවක මිල රුපියල් 195ක් වූ අතර මුංඇට කිලොවක් 905ක් දක්වා ඉහල ගොස් තිබිණී.

මෙලෙස සහල්,සීනි,පරිප්පු ආදී සෑම ද්‍රව්‍යකම මිල අධික වේගයෙන් ඉහළ ගියද තම ආදායම් ඉහල යාමක් සිදුවී නොමැති නිසා තුන් වේල එක වේලකට සීමා කරන්නට සිදුවන තත්වයක් උදාවී ඇතැයිද පාරිබෝගිකයෝ පවසති. මේ අතර වෙළදපොලේ බිත්තර, කරවල, හාල්මැස්සන් ඇතුලු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලද විශාල ලෙස ඉහල ගොස් ඇති බව පවසති. වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 32ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔවුහු පවසති.

මේ අතර සතොස වෙළඳසැල් වලද පරිප්පු, පාන්පිටි, සීනි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාරිබෝගිකයින්ට නිකුත් කිරීම සීමා කර ඇත. පාරිබොගිකයෙකුට එක් වරකට පරිප්පු ග්‍රෑම් 500ක් , රතු සීනි කිලෝවක්, පොන්නි සම්බා සහල් කිලෝ 5ක් සතොසින් මිලදී ගත හැකි බවටද සතොස වෙළඳසැල්වල දැන් විම් අලවා තිබුණි.

Facebook
Twitter
LinkedIn