2017 දී පැතිරී ගිය අබිරහස් රෝගයක් හේතුවෙන් හා ට්‍රම්ප් විසින් සක්‍රිය කල සම්බාධක හා සමගාමිව වසා දැමු කියුබාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නැවත විවෘත කිරීමට බයිඩන් පාලනය තීරණය කර ඇත.
පසුගිය කාලයේ කියුබාව පුරා හඹා ගිය ආණ්ඩු විරෝධී රැල්ල වෙත ඇමරිකාව විසින් සහයෝගය ලබාදීම හේතුවෙන් බයිඩන් පාලනය සමග කියුබානු සමාජවාදී රජය ගැටුම්කාරී තත්වයක පසු වුවත් මෙම නව තීරණයත් සමග නැවතත් කියුබානු ජනතාවට ඇමරිකාවට ඇතුළුවීම සඳහා වෙනත් රටකට ගොස් වීසා අයැදුම්පත් ඉල්ලීම වෙනුවට ඍජුවම තම කාර්යයන් කියුබාව තුළදීම සිදු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
2017 දී කියුබාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කල නිලධාරීන්ට ඇතිවුණු කැරකිල්ල, හිසරදය, පෙනීම දුර්වල වීම, ශ්‍රවණ ආබාධ වැනි රෝග ලක්ෂණ සහිත අභිරහස් රෝගයක් හේතුවෙන් ඇමරිකානු රජය විසින් කියුබානු රජයට දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබිණි. “හවානා ව්‍යාධිය” ලෙස ප්‍රකට වූ මෙම රෝගය කියුබානු විද්‍යාගාරයක හෝ රුසියාවේ නිපදවූ බැක්ටීරියාවක් ලෙස ඇමරිකාවේ සැකයට භාජනය වී තිබිණි. මෙම රෝගය හේතුවෙන් ඇමරිකානු හා කැනේඩියානු රාජතාන්ත්‍රිකයින් 50දෙනෙකු පීඩාවට ලක් වී තිබිණි.
මීට පෙර 1974 දී මෙවැනි රෝග තත්වයක් සීතල යුධ සමයේ කතා බහට ලක් වී තිබීම හේතුවෙන් මෙම නව රෝග තත්වය මත ඇමරිකාව විසින් රුසියාවටද චෝදනා කරන ලදී. මෙම චෝදනාව කිසිදු පිලිගත හැකි සාක්‍ෂියක් නොමැතිව ඉදිරිපත් කරන ඇමරිකානු ෆැන්ටසියක් ලෙස රුසියානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maria Zakharova විසින් 2017 දී ඇමරිකානු චෝදනාව අවඥාවෙන් බැහැර කරනු ලැබුවාය. රෝග තත්වය ඉහල යාමෙන් ඇමරිකානු රාජතාන්ත්‍රිකයින් 30දෙනෙකු හදිසියේ රෝහල් ගතවීමත් සමග ට්‍ර්ම්ප් පාලනය ඇමරිකාවේ කියුබානු තානාපති කාර්යාලයේ කියුබානු රාජතාන්ත්‍රිකයින් 30 දෙනෙකු එරටින් නෙරපා දැමු අතර හවානා නුවර ඇමරිකානු තානාපති කාර්යාලයත් ඒ හා සමගම වසා දමන ලදී.
1994 දී කියුබානු ජනතාව මුහුදින් හා නිත්‍යානුකූල නොවන අයුරින් ඇමරිකාව වෙත ආගමනය වීම හේතුවෙන් දෙරට අතර වසරකට කියුබානු වැසියන් 20,000කට වීසා ලබා දීමේ ගිවිසුමකට එකඟ වන ලදී. මෙම ගිවිසුම ප්‍රකාරව ෆිදෙල් කැස්ත්‍රෝ විසින් තම සිර ගෙවල් තුල සිටි දේශපාලන සිරකරුවන්ට අමතරව විවිධ චෝදනා යටතේ රඳවා ගෙන සිටි නම ගිය අපරාධකරුවන් විශාල පිරිසක්ද ඇමරිකාවට යවන ලදී. 2017 වසරේදී තානාපති සබඳතා නතර කිරීමත් සමග වඩාත් පීඩාවට පත්වනුයේ ඇමරිකාවට යාමට අපේක්‍ෂා කරනු ලබන වීසා අයැදුම්පත් ඉදිරිපත් කරනු ලැබූ කියුබානු වැසියන්ට විය. ඒ අනුව තමන්ට අවශ්‍ය ඇමරිකානු වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා ඔවුන්ට වෙනත් රටකට තමන්ගේම වියදමින් යාමට සිදු වී තිබිණි.
කෙසේ වෙතත් 2022 ජනවාරි 21 වැනිදා ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය විසින් නිකුත් කරන ලද වාර්තාවකින් කියුබානු රජය ඉහත “හවානා ව්‍යාධිය” චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන ලදී. ඒ අනුව කියුබාවේ ඇමරිකානු තානාපති කාර්යාලය යලි විවෘත කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මාධ්‍ය වෙත පසුගිය මාර්තු 3වනදා ප්‍රකාශ කර සිටියේය. මෙම රාජතාන්ත්‍රික සම්බන්ධතා යලි ඇතිකර ගැනීම ට්‍රම්ප් විසින් පනවන ලද නව සම්බාධක ඉවත් කරලීම වෙනුවෙන් තැබූ පියවරක් ලෙස සැලකිය නොහැකි බව රාජතාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.










