හිතුවක්කාර මනුෂ්‍යත්වය

හිතුවක්කාර මනුෂ්‍යත්වය

ලොව විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා කවුරුන්ද ‍යන වග ඔබෙන් ඇසුවොත් එහි නිසැක පිළිතුර මුත්තයියා මුරලිදරන් වෙනු ඇත. මන්ද ලාංකීය අප හට මුරලි යනු ජාතික වස්තුවක් හා සමාන හෙයිනි. අපේකමට සේම ඔහු කල කී දෑ නිසාවෙන් අප මහත් උජාරුවට අප ජාතික ගැන වංශ හඹල් ගසන්නේ එදා මුරලිලාගේ අද්විතීය වාර්තා සමග ය.

එනමුත් මා පවසන්නේ විශ්වයේ බිහි වූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා ශේන් වෝන් කියා ය.

විටෙක මා පරගැතියන්ට කත් අදින්නෙකු සේ නුඹට පෙනෙනු ඇත. විටෙක මේ ඛේදනීය තත්ත්වය නිසාවෙන් මා එසේ පවසන්නේ ‍යැයි නුඹට සිතනු ඇත. එකී කුමන ආකාරයෙන් සිතුවද එය සැබෑවක් බව සනිටුහන් කරන්නට ඔහුගේ වාර්තා මෙලොව රජ වී හමාර ය.

මුරලිගේ ලෝක පූජිත කඩුලු 800 කතා වස්තුව තුල කඩුලු 493ක් බැර වන්නේ සිය දේශයේ දඟ පන්දුවටම හිතැති සුන්දර තණතීරු වල ය.

ශේන් වෝන් එයින් විශිෂ්ඨයෙකු වන්නේ මුරලිගේ කඩුලු දඩයම සමග ඔහු සටන් කරන්නේ බෙහෙවින්ම වේග පන්දු යවන්නන් වෙනුවෙන් දායද කල ඕස්ට්‍රේලියා , එංගලන්ත , දකුණු අප්‍රිකා සහ නවසීලන්ත තණතීරු වල ය.
වෝන්ගේ කඩුලු කතාවේ වැඩි හරියක් ලිය වූයේ තණතීරුවෙන් අඹමල් රේණුවකවත් ඔහුට වාසියක් නැති වේග තණතීරු වල උජාරුවට පොර බැඳ ය.

වේග පන්දු යවන්නන්ගේ පාරාදීසයක දඟ පන්දු යවන්නෙකු ලෙස ඔහු තනිව කල එකී වික්‍රමය මා හට විශිෂ්ඨ වන්නේ එනිසාවෙනි.

ඕස්ට්‍රේලියාව තුල ටෙස්ට් කඩුලු 319ක් දඩයම් කරමින් එකල අතීතයේ පිතිකරුවන්ට සැර වැර කල එකී කැන්ගරු හිතුවක්කාරයා අද මෙලොවින් නික්ම ගොසිනි.

එකල ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ වෛරයට පාත්‍ර වූ වෝන්ගේ හිතුවක්කාරකම් එමට ය.

මතට වැඩි ඇල්මක් දැක් වූ ඔහු වැඩටද අමු රුසියෙකු විය.

සිය ප්‍රථම ටෙස්ට් තරගය ක්‍රීඩා කරන විය කි.ගැ.97ක් වැනි ඉහල බරකින් සමන්විත වූ ඔහු පසුව ක්‍රීඩාවට ආවේණික ලෙස සිය බර සහ ශරීරය සකසා ගත්තේ ය.
මතට මෙන්ම වැඩටද ඔහු සැබැවින්ම කැප වූ එකල හාදයෙක් විය.

පිතිකරුවාට උසුළු විසුලු කරමින් පිතිකරුවා උරණ කරවා කඩුලු දඩුවම් කිරීමේ කපටි කයිරාටික නරියෙකු ලෙසද ඔහු හැදින්වූවාට කම් නැත.

විටෙක ඔහුගේ චර්යා ‍රටාව හුදෙක් ප්‍රේක්ෂකයන් හට නොදිරවන්නටද එය හේතුවක් වන්නට ඇත.

“පැතුම් නිස්සංක ශ්‍රි ලංකා කන්ඩායමේ අනාගතයයි. නිසැකවම එය වයිඩ් පන්දුවක්. ශ්‍රි ලංකා කන්ඩායම සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරන්නේ රෑන්කින් නිසා මිස අදක්ෂ නිසා නොවෙයි. මේ ශ්‍රි ලංකා කන්ඩායමට මේ වසරේ ලෝක කුසලානයට යමක් කළ හැකියි.”

මෙකී වචන සමුදායක් මෑතකදි ඔහුගේ කටින් ඇසුනා නුඹට මතක ඇත.

ඒ ශේන් වෝන් ය.

ශ්‍රි ලංකා ක්‍රිකට් කෙතරම් පහළට වැටුනද ඔහු අපේ ක්‍රිකට් කිසිදා අවතක්සේරු නොකළේ ය.

එකී විශිෂ්ඨයා සිය ක්‍රීඩාවෙන් නික්ම ‍යාමෙන් පසු මත්පැන් ස්කාගාරයක් ආරම්භ කරන්නේ ය. එකී ජින් වර්ගය ඔහු නම් කරන්නේ “සෙවන් සීරෝ එයිට්” ලෙස ඔහු ලබාගත් ටෙස්ට් කඩුලු 708 යළි මතක සිහිකැඳවීමක් ලෙස ය.

කෙසේ නමුත් ඔහු මෑතකදි සිදු වූ කොරෝනා ලෝක වසංගතය සමයේ එකී මත්පැන් ස්කාගාරය “හෑන්ඩ් සැනිටයිසර්” නිෂ්පාදනාගාරයක් බවට පත් කරන්නේ ය.

එපමණක් නොව එදා සුනාමි ව්‍යාවසනයෙන් අප ශ්‍රි ලංකාද්වීපය පීඩා විඳිද්දී ප්‍රථමයෙන්ම ශ්‍රි ලංකාව වෙනුවෙන් පිහිට වීමට පැමිණෙයේ මේ සොදුරු මිනිසා ය.

ක්‍රිකට් පිටියේ ඔහු කෙතරම් “නසරානි භයානක චරිතයක්” වුවද මනුෂ්‍යත්වය අතින් ඔහු නිහතමානී උතුම් මිනිසෙකු බවට මෙකී කතාවෙන් සිහිපත් කරන්නට සිතුනේ ය.

සිත තාමත් පිලිගන්නේ නැත.

52 හැවිරිදි එකී විශිෂ්ඨයා සිය ජීවත ගමනට සමු දී ඇති බව විටෙක හීනයක් මෙන් වූ සිද්ධි දාමයක් යැයි මේ සිතට දැනුනේ ය.

නමුත් යතාර්ථය එය ය.

“සබ්බං පහාය ගමනීයං” යනුවෙන් මා අදහන බුද්ධ දර්ශනය එකී සත්‍යතාවය නිර්වචනය කළේ එලෙස ය.

නමුත් එක ඇත්තක් ඇත.

“වීරයින් කිසිදා මිය යන්නේ නැත.”

මෙතැන් සිට ඔහුගේ චාරිකාව ජීවන රඟ මඬලෙන් හැර යනු ඇත.

නමුත් ඔහුගේ වීර කතිකාවක අද මෙන්ම හෙටත් හෙට මෙන්ම මතුවටත් ලෝකයේ කොහේ හෝ තැනක කවුරුන් කෙසේ හෝ සෑම දිනකම ඔහු ගැන කතා කරනු ඇති බව නොඅනුමාන ය.

ඒ ඔහුගේ “අමරණීය වීරත්ත්වයේ සොඳුරු මතක ය”

ඉතිං අවසරයි,

ලොවක් දඟ පන්දුවෙන් විශ්මයට පත් කළ,

දඟ පන්දුවේ සොදුරු දඩයක්කාර කිරුළු පලන් “දඟ පන්දුවේ රජුණි !!!

නුඹට අපෙන් නික්ම ‍යන්නට…..!!!

නුඹ අදහන දෙව් මව් තුරුලේ සාමදානයෙන් සැතපේවා යැයි උතුම් ප්‍රාර්ථනයත් සමග….!

මේ අතර

Facebook
Twitter
LinkedIn