පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලට නොකැඳවීමට එම කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ ඔහු ආණ්ඩු පක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව ඊයේ (02) පැවති සම්මන්ත්‍රණයකට සහභාගීවීම හේතුවෙනි.
මෙම අවස්ථාවට රාජ්‍ය ඇමති විදුර වික්‍රමණායකද සහභාගී වී තිබිණි.
ඔවුන් දෙදෙනාටම විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගතයුතු බව පොහොට්ටු පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කර ඇත. එහෙත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගත යුතු බවත් ඔහු පැවසීය.
හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ මීට පෙර පැවති රැස්වීමකටද මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත සහභාගි වී තිබූ අතර පසුපෙළ කණ්ඩායමේ අනුදැනුමකින් තොරව ඔහු මෙවැනි රැස්වීමට සහභාගී වීම හේතුවෙන් ඔහු මින් ඉදිරියට කණ්ඩායමේ රැස්වීම්වලට නොකැඳවීමට තීරණය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
තමන් රාජපක්ෂ පවුලේ නීතිඥයා බවත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකත්වය ලැබුනේ තමන් රාජපක්ෂ පවුලේ නීතීඥයා වූ නිසා බවත් මන්ත්‍රී ප්‍රේමනාස් දොලවත්ත පසුගියදා ප්‍රකාශ කර තිබිණි.









