‘කුලේගේ දුවට අද හෝඩි පොතේ ‘අ’ යන්න කියා දුන්නා. කවුරුන් හෝ ඇයට ‘අරගලයේ’ ‘අ’යන්න කියා දෙනු ඇත.’
මෙය උපුටා ගැනීමක් නොවේ. මතකයේ තිබී ලියූවක් ය. ‘සත්‍යවාදියකුගේ දිනපොත’ පිටු අතර තවත් තැනක එසේ ලියා තිබුණේ ය.
ඒ පෑනෙන් ගලා ආවේ තීන්ත නොවේ. මානව දයාව ය. ඒ නිසා ම අරගලයේ ‘අ’යනු ‘ආ’යනු ලියැවුණේ ය. ස්වාභාවික විපතක් ලෙස කන්දක් නාය ගොස් ජීවිත වැළලුණු තැන සිට පොපියන හදවත් ටයර් සෑයේ දැවෙන තැන දක්වා පරාසය තුළ ගලා ආවේ මානව දයාවේ සහ අරගලයේ අකුරු ය. මේ මොහොතේ උපන් බිළිඳු කුරුලු තුඩක සිට ජීවිතයේ අන්තිම කෙළවර දක්වා ලෝකයේ සිටි මහලු ම මිනිසකුගේ අවසන් සුසුම් පොද දක්වා වූ ආදරය ඒ ‘අ’යනු ‘ආ’යනුවලින් ලියැවී ගියේ ය. 1971 අප්‍රේල් අරගලය පිළිබඳ ලෝකයට සත්‍ය තොරතුරු ගලා ගියේ ඒ පෑන් තුඩින් ය. ජාත්‍යන්තර මාධ්‍යවේදිනියක වූ ඔරියානා ෆලොන්චි අප්‍රේල් අරගලයේ ජීවමාන සාක්ෂි සොයා ගියේ සුනිල් මාධව ප්‍රේමතිලක සමඟ ය. ඒ ඔහු එදා ‘ලේක්හවුස්’ ආයතනයේ සේවය කරමින් සිටිය දී ය.
ඔහුගේ පෑන අසීමිතව පණ පෙවුණේ ‘දිවයින’ ‘8 වැනි පිටුව’ තුළින් ය. එය කොතරම් වී ද! වරෙක රුසියානු සාහිත්‍යවේදීන් විසින් සඳහන් කර තිබුණේ, ”අපි සියල්ලෝ ම ගොගොල්ගේ ‘හිම කබායෙන්’ උපන්නෙමු” කියා ය. එය මඳක් වෙනස් කර සියලු ගෞරව කැටි කරන්නේ නම්, ”අපි හැමෝ ම සුනිල් මාධවගේ පෑන් තුඩින් උපන්නෙමු” යැයි එකහ`ඩින් කිව හැකි ය. ඒ මීට දශක හතරකට ආසන්න අතීතයේ ‘8 වැනි පිටුව’ ‘දිවයින’ තුළ ඇදී ගිය නිසා ය. සත්‍ය වශයෙන් ම ඇඳී යාමක් ය.
සුනිල් මාධවගේ රැඩිකල් පිටු සංස්කරණය, රැඩිකල් කාටූන් සිතුවම් සහ අකුරුවලින් දෘශ්‍යකරණය කර තිබුණේ ය. ඒ ඊට හවුල් වූ ශාන්ත කේ. හේරත්ගේ සිතුවම් හැඩ රටා සහ අකුරු රටාවලින් බව ද සිහිපත් කළ යුතු ම ය. පළමුවරට ‘සත්‍යවාදියකුගේ දිනපොත’ සටහන් වූයේ ද ‘8 වැනි පිටුවේ’ ම ය.
නව ලිබරල් ධනවාදය විසින් මේ බිම මත දියත් කරනු ලැබූ යම් විශේෂිත දෙයක් වේ නම්, ඒ එදා ‘දිවයින’ පත්තරය බව කිව හැකි ය. නව ලිබරල් ධනවාදී කොල්ලකාරීත්වය මේ බිමෙන් තුරන් කිරීමේ අරගලයට පණ පොවන අසීමිත ශක්ති ප්රභාවන් ජනිත කළේ ද ඒ ‘දිවයින’ ම ය. එඩ්මන් රණසිංහ විශිෂ්ට කර්තෘ ඒ තුළ සිටිය දී, දයාසේන ගුණසිංහ, සුනිල් මාධව ප්‍රේමතිලක අසහාය සෙන්පතියන් වී එය මෙහෙයැවී ය. විනී හෙට්ටිගොඩගේ කාටූන් තවත් ප්‍රබල මතවාදී අවියක් ම වූයේ ය.
‘දිවයින’ට පසුව ඉතිහාසයේ තීරණාත්මක කඩඉමක් සටහන් වූයේ 1990දී ය. ජේ. ආර්. – ප්‍රේමදාස සහ රන්ජන් විජේරත්න මෙහෙයැවූ ධවල භීෂණය මව්බිමේ කොතරම් ලේ ගංගා ගලා හැරියේ ද! 1989 අඳුරු නොවැම්බරයේ හරියට ම මාස කීපයක් ගත වූ තැන (මතකයේ හැටියට 1990 මාර්තු මස) ‘ලක්මිණ’ පුවත් පත යළිත් හඬ අවදි කරවූයේ ය. ඒ සුවහසක් උස් මිනිසුන්ගේ ප්‍රාර්ථනා ධවල භීෂණයෙන් මරා දැමිය නොහැකි බව පසක් කරමින් ය.
සුනිල් මාධව ප්‍රේමතිලක ඒ අභීත මිනිසුන්ගේ හඬ වාහක හඬකරුවා වූයේ ය. එතැන් පටන් ‘ලක්දිව’, ‘හිරු’ පත්තර හරහා එය තව තවත් තියුණු කරවී ය.
‘දිවයිනෙන්’ එළියට දැමූ දයාසේන ගුණසිංහයන් අතිවිශිෂ්ට කෙටිකතා කෘති දෙකක් පළ කළේ ය. ඉන් එකක් වන්නේ ‘කේතුමතී හෝටලයේ රාති‍්‍රයක්’ ය. එහි සුනිල් මාධව ප්‍රේමතිලක පිළිබඳ කෙටිකතාවක් නිර්මාණය වී තිබේ. ඒ ‘අවියක් නැති සෙනෙවියා’ යන නමින් ය.
”රාජා මහත්තයා කතා කරන්නේ තම සගයන්ට විනා ඔවුන්ට නොවේ. එහෙත්, ඔහුගේ පිටුපසින් වැටෙන ෂෙල්ටන් අයියලා, වීරෙ මල්ලිලා, පීටර් මාමලා, ජෝගුස් උන්නැහේලා කියුබානු විප්ලවයේ විමුක්ති සෙබළුන්ට එක් වී සටන් කරති; දින ගණන් නිරාහාරව පසුවෙති; තුවාළ ලබති; යළි සටනට යති. අවසානයේ දී හවානා අගනුවර වීදි ඔස්සේ ජයග්‍රාහී පෙළපාළි යති; ධජ පතාක ඔසවාගෙන යාමත් කරති.”
ඒ ජයග්‍රාහී පෙළපාළියේ කොටස්කරුවකු වන ලෙස කියා දුන්නේ සුනිල් මාධව ප්‍රේමතිලක ය.
”සුනිල් අයියේ… අද ඔබ නික්ම යන ගමනේ කාන්සිය, පාළුව මඟහැරෙන්නට අර පෑන් මාලයත්, ලේන්සු මාලයත් මතක ඇතිව අරගෙන යන්න. ඔව්… ‘ලක්දිව’ ප්‍රථම ජනතා සාහිත්‍ය උලෙළේ දී පැළඳි පෑන් මාලය, තව තැනක දී පැළඳි ලේන්සු මාලය… ඒ තියෙන්නේ, පෑන්වත්, ලේන්සුවත් නොවෙයි… අව්‍යාජ මිනිසුන්ගේ හදවත්… ඔබ යන ගමනේ දී ඒ හදවත් උණුසුමින් ඔබව වැළඳගෙන සිටින බව මතක තියා ගන්න.”
ලංකා පුවත්පතෙන්










