ඉන්ධන හිඟයෙන් තවත් බලාගාර දෙකක් අක්‍රියවෙයි…

ඉන්ධන හිඟයෙන් තවත් බලාගාර දෙකක් අක්‍රියවෙයි…

මේ වනවිටත් ඉන්ධන හිගය හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජණන කටයුතු නතර වී තිබෙන අතර ඊට අමතරව මතුගම සහ පාවෙන බලාගාරයේ කොටසක්ද අක්‍රිය වී තිබේ.

ඒ හේතුවෙන් මෙගාවොට් 370ක ධාරිතාවයක් ජාතික පද්ධතියට අහිමි වී ඇතැයිද වාර්තා වේ.

කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීම හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 297ක ධාරිතාවයක් අහිමි වී ඇත.

එමෙන්ම මතුගම පිහිටි තාප බලාගාරය ඇනහිටීම හේතුවෙන් මෙගාවොට් 12.8ක ධාරිතාවයක්ද පාවෙන බලාගාරයේන් 60.2ක පමණ ධාරිතාවයක්ද ජාතික පද්ධතියට අහිමි වී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්තා අනුව ජාතික විදුලි ඉල්ලුම ඊයේ (02) රාත්‍රියේ මෙගාවොට් 2,632ක උපරිමයකට ළඟාවී තිබේ.

ඉන් 70%ක් (1842 Mw) තාප විදුලි බලාගාරවලින්, 27%ක් (711 MW) ජල විදුලි බලාගාරවලින් සහ 3%ක් (79 MW) සුළං, සූර්ය බලය හා ජෛව ස්කන්ධ යන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සම්පූර්ණ කර ගැනුණි.

එවැනි පසුබිමක, කැලණිතිස්ස, මතුගම සහ පාවෙන බලාගාරයේ කොටසක් අක්‍රිය වීමත් සමග මෙගා වොට් 370ක් අහිමි විම හේතුවෙන් අද (03) රාත්‍රියේ විදුලිය සැපයුමට යම් බාධාවක් එල්ල විය හැකි බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා පවසන්නේ, වරායේ සිට රට තුළට තෙල් ගෙන එන මාර්ගයේ මේ වනවිට ඇති පෙට්‍රල් ඉවත් කිරීමෙන් පසු තාප බලාගාර සඳහා අවශ්‍ය ඩීසල් හා දැවි තෙල් පොම්ප කිරීමට තෙල් සංස්ථාව එකඟ වී ඇති බවය.

Facebook
Twitter
LinkedIn