සෝවියට් කඳවුර බිඳ වැටෙන අවස්ථාවේදී රුසියාව හා ඇමරිකාව අතර ගිවිසුම් දෙකක් අත්සන් කරනුයේ රුසියාවේ ආරක්ෂාව පිළිගනිමින් ඇමරිකාව විසින් නේටෝව පුළුල් කිරීමට නැගෙනහිර හා බෝල්ටික් රටවල් හට ආරාධනා නොකරන බවට සහතිකයක් ලබා දෙමිනි. නමුත් මෙම සහතිකය ඇමරිකාව උල්ලංඝණය කරන අතර එය දීර්ඝ කරනුයේ ජෝර්ජියාවට හා යුක්රේනයටද ආරාධනා කරමිනි. නේටෝවේ යුධ වියරුවට එරෙහිව පසුගිය 22 වැනිදා පුටීන් ප්‍රකාශ කර සිටියේ බටහිරට මිලිටරි විසඳුමක් දීමට තමන් සුදානම් බවයි. මෙම ගැටුම නිසා යුරෝපයේ ගෑස් මිල 20%කින් ඉහල ගොස් ඇත්තේ ජර්මනිය හා රුසියාව අතර ඉදිවුණු ගෑස් නල පද්ධතියද වසා දමමිනි.
පෝලන්තය, ජර්මනිය හා චෙක් රාජ්‍යය නේටෝවට එක් කරගනිමින් හිටපු සෝවියට් පාලනය සමග 1991 දී අත්සන් කරන ලද ද්විපාර්ශ්වික ගිවිසුම්වලදී එළඹුණු කොන්දේසි බිඳදැමීම නිසා රුසියාව 2014හිදී ක්රිමියාවත් 2008දී ජෝර්ජියාවේ දකුණු ඕඩිසියා ප්‍රදේශයත් ඈඳා ගන්නා ලදී. එයින්ද නොනැවතුණු රුසියාව පසුව රුසියානු ජාතිකයින් බහුතරයක් ජිවත් වන යුක්රේනයේ ඩොනෙට්ස් ප්‍රදේශයේ වෙනම රාජ්‍යයක් බිහිකිරීම වෙනුවෙන් මිලිටරි සහය එහි බෙදුම්වාදීන්ට ලබා දෙමින් සිටි.
කෙසේවෙතත් රුසියාව හා නේටෝව අතර මෙම යුධ ගැටුම වඩාත් ත්‍රිව වී ඇත්තේ රුසියාව හා ජර්මනියේ හිටපු චාන්සල්වරිය වන ඇන්ජෙලා මෙර්කෙල් සමග ගිවිසුම් ගත වී ගොඩනගන ලද කිලෝ මීටර් 1200ක් දුරැති Nord Stream 2 ගෑස් නල පද්ධතිය නිසාවෙනි. මෙම ගෑස් පද්ධතිය හේතුවෙන් යුරෝපයට ගෑස් සැපයීමේ තනි අයිතිය ඒ අනුව රුසියාවට හිමිවේ. ඇමරිකාව මෙම නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිටිනුයේ ජර්මනිය සමග විරසකයෙනි.
මෙම නව ඉදිකිරීම හේතුවෙන් මේ දක්වා රුසියානු ගෑස් සැපයූ යුක්රේනයේ ආර්ථිකයට විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියාව මෙයින් සමත් වී ඇත. මේ වනවිට නව ගෑස් පද්ධති ව්‍යාපෘතිය අවසාන වී ඇති අතර එය විවෘත කිරීම ප්‍රමාද වී ඇත්තේ ඇමරිකාවේ හා නේටෝවේ බලපෑම හේතුවෙනි. නව ජර්මන් චාන්සල්වරයා වන olaf Scholz හා ඔහුගේ සභාග ආණ්ඩුව මෙම ගෑස් අර්බුදය හේතුවෙන් බෙදීයාමේ කඩඉමකට පැමිණ ඇත.
මෙයින් දැඩි පීඩාවට පත් වී ඇත්තේ දෙසැම්බර් 24 වනදා සිට උදාවන සීතල කාලය ගත කරමින් සිටින බටහිර යුරෝපයේ ජනතාවයි. කොරෝනා නව ප්‍රභේදය හා දැඩි ආර්ථික උද්ධමනයකින් පීඩා විඳිමින් සිටින යුරෝපීය ජනතාව මෙම ගැටුම හේතුවෙන් තමන්ගේ ගෑස් බිල 20%කින් එනම් යුරෝ 180 දක්වා ඉහල යාමකට මුහුණ දී ඇත. ආර්ථික විශේෂඥයින් පවසනුයේ එය පසුගිය වසරට වඩා දස ගුණයකින් යුරෝපයේ ගෑස් මිල ඉහළ යාමක් ලෙසයි.
මෙම අර්බුදය අවසන් කිරීම සඳහා රුසියාව විසින් දෙසැම්බර් 17 වැනිදා නේටෝවට තම යෝජනා ලෙස යුක්රේනය නේටෝ සාමාජිකයෙක් ලෙස පත්කිරීමේ උත්සාහය නතර කිරීම , එරට හමුදා රැඳවීම හා පුහුණු කිරීම අවසන් කිරීම, තවදුරටත් නේටෝව නැගෙනහිර යුරෝපයට, බෝල්කන් රටවලට හා මධ්‍යම ආසියාවට ව්‍යාප්ත නොකරීම ඇතුළු රුසියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් අඩංගු ගිවිසුමක් ඉදිරිපත් කලද නේටෝව මෙම ගිවිසුම ප්‍රතික්ෂේප කරන ලදි. එයට පිළිතුරු ලෙස පසුගිය 21 වැනිදා රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය අමතා පැවසුවේ යුරෝපයට මිලිටරි හා තාක්ෂණික විසඳුමක් ලබා දීමට තමන් සුදානම් බවයි.










