කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් යළිත් වරක් ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ අනිවාර්ය කර තිබියදී මුහුණු ආවරණයක් නොමැතිව රෙදිපිළි වෙළෙඳ සැලකට ගිය ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය මෙට් ෆෙඩ්රික්සන්ට දඩ නියම කර තිබේ.
අග්‍රාමාත්‍යවරිය මුහුණු ආවරණයක් නොමැතිව ඇඳුම් තෝරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් එරට පුවත් නාළිකා ඔස්සේ විකාශය වීමට පටන් ගත්තේ පසුගිය සිකුරාදා (03)ය. එම දසුන් රූගත කර ඇත්තේ වෙළෙඳසැලට ආ තැනැත්තකු බවද පැවැසෙයි.
‘සෞඛ්‍ය අංශ මුහුණු ආවරණ අනිවාර්ය කර තිබියදී, මා වගකීම් විරහිතව හැසිරීම ගැන කනගාටු වෙනවා. එය මා අතින් සිදුවුණු වරදක්. ඒ ගැන මා සමාව ඉල්ලා සිටිනවා’ යැයි අග්‍රාමාත්‍යවරිය ප්‍රසිද්ධියේ ඩෙන්මාර්ක වැසියන්ගෙන් සමාව ඉල්ලිමක් කර තිබේ.
සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, කොවිඩ් – 19 වසංගතය පාලනය කර ගැනීමට මුහුණු ආවරණ අනිවාර්ය කිරීමත් ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ නොපලඳින්නේ නම් ඩෙන්මාර්ක ක්‍රෝනර් 2,500ක දඩයක් නියම කිරීම කළේ ද අග්‍රාමාත්‍යවරිය මැදිහත් වීමෙනි.
ඩෙන්මාර්කය යුරෝපා රාජ්‍යයකි. මේ වනවිට යුරෝපයේ යළි සීඝ්‍ර වශයෙන් කොවිඩ් – 19 වර්ධනයක් දකින්න ලැබේ. මේ වනවිට ඔමික්‍රෝන් විකෘතියද යුරෝපා රටවල් රැසකින් වාර්තා වී තිබේ.
ඩෙන්මාර්ක සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට එරට මේ වනවිට මුහුණ දෙන්නේ කොවිඩ් – 19 තෙවැනි රැල්ලටය. ඩෙන්මාර්කයෙන් හමුවුණු සමස්ත ආසාදිතයන් ගණන 506,085කි. මරණ වාර්තා වන්නේ 2,939ක් ලෙසය.
(රොයිටර්)









