දුප්පත්කමට අලෙවි කළ නොබෙල් තෑග්ග හිමිකරුටම

ඇමරිකානු ජීව විද්‍යාඥයෙකු වන ජේම්ස් වොට්සන් විසින් 1962දී හිමිකරගන්නා ලද නොබෙල් ත්‍යාගයට අයත් රන් පදක්කම වෙන්දේසියකින් මිලට ගන්නා ලද රුසියානු බිලියනපති ඇලිෂර් උස්මානොව් එය නැවත අයිතිකරුටම ලබාදෙන බව පවසා තිබේ.

මෙම පදක්කම පසුගියදා වෙන්දේසියකට ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර අනන්‍යතාව සඟවාගනිමින් එම වෙන්දේසියට දුරකථනයෙන් සම්බන්ධ වී සිටි රුසියානු කුවේරයා එම රන් පදක්කම ඩෙලර් මිලියන 4.8ක මුදලකට එය මිලදී ගෙන තිබිණි.

මේ වන විට 86 හැවිරිදි වොට්සන් කියා තිබුණේ තම වියදම් සොයා ගැනීමට සහ පුණ්‍ය කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීම සඳහා තම රන් පදක්කම අලෙවි කිරීමට කටයුතු කළ බවය. කෙසේ වුවද රුසියානු ජාතික උස්මානොව් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, වොට්සන් වැනි සුවිශේෂී විද්‍යාඥයෙකුට ඔහුගේ දක්ෂතා අගයමින් ලැබුණු පදක්කමක් විකිණීමට සිදුවීම කණගාටුදායක කරුණක් බවය. ජේම්ස් වොට්සන් මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජීව විද්‍යාඥයෙකු බව පැවසූ උස්මානොව්, ඩී.එන්.ඒ. අණුවේ ව්‍යුහය සොයා ගැනීම වෙනුවෙන් ලැබුණු ත්‍යාගය වොට්සන්ටම අයිති විය යුතු බව කියාසිටී.

ෆොබ්ස් සඟරාවට අනුව වානේ කර්මාන්තයේ සහ දුරකථන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන උස්මානොව්ගේ ඇස්තමේන්තුගත ධනවත්කම ඩොලර් බිලියන 15.8කි.

 

ජේම්ස් වොට්සන්

ඇලිෂර් උස්මානොව්

Facebook
Twitter
LinkedIn