චීනය ටජිකිස්ථානයේ දැවැන්ත හමුදා කඳවුරක් ගොඩනගයි !

චීනය ටජිකිස්ථානයේ දැවැන්ත හමුදා කඳවුරක් ගොඩනගයි !

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් මූලධර්මවාදීන් නැවත බලයට පැමිණීමත්, ඇමරිකන් හමුදා නවීන ආයුධ විශාල ප්‍රමාණයක් හැරදමා එරටින් පලා යාමත් ඒවා ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් අතට පත්වීමත් හේතුවෙන් රටේ අභ්‍යන්තර ආරක්ෂාව ඉලක්ක කරමින් චීනය තම අසල් වැසි රාජ්‍යයක් වන ටජිකිස්ථානයේ දැවැන්ත හමුදා කඳවුරක් ඉදිකරමින් සිටින බව වාර්තා වේ. ඒ අතර චීනය ඇෆ්ගනිස්ථානය සමග ඇති කිලෝමීටර් 80ක තම පොදු දේශ සීමාවේ ආරක්ෂාව ඉතා සූක්ෂම ලෙස දැඩිකර ඇති බවද වාර්තා වේ.

විශේෂයෙන්ම ඇමරිකන් ආයුධ චීනයේ Xinjiang ප්‍රාන්ත්‍රයේ ouïgoure බෙදුම්වාදීන්ට පත්වීමට ඇති ඉඩකඩ පිළිබඳව චීනය මේ වනවිට දැඩි අවධානයක පසුවේ. එම නිසාම මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයක ගිලි සිටින තලෙයිබාන් රජයට ආධාර කරන ලෙස චීන විදේශ ඇමති Wang Yi පසුගියදා ලෝක බැංකුවෙන් හා අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන්ද ඉල්ලා සිටියේය. ඇෆ්ගනිස්ථානය නැවත ගොඩනැගීම සඳහා චීන රජය ඩොලර් මිලියන 30ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ ඇමතිවරයා වැඩිදුරටත් හෙළිකර සිටියේය.

චීනය තම අසල්වැසි ටජිකිස්ථානය සමග ඇතිකරගෙන ඇති එකඟත්වය අනුව ඇෆ්ගනිස්ථානය හා එරට අතර ඇති පොදු දේශසීමාවේ සියළු පහසුකම් සහිත දැවැන්ත හමුදා හා පොලිස් කඳවුරක් බිහිකරනු ඇත. ටජිකිස්ථානයේ Ichkachim ප්‍රදේශයේ මෙම කඳවුර ඉදිකිරිම එරට පාර්ලිමේන්තුව විසින්ද අනුමත කර තිබේ. මෙම හදිසි ගොඩනැගීම සඳහා චීන රජය ඩොලර් මිලියන 7.5ක් වැයකර ඇති බවටද බටහිර මාධ්‍ය වාර්තා කර සිටිති.

මෙම ඉදිකිරිම සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය චීන විදේශ ඇමතිවරයායෙන් විමසු අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම ප්‍රතික්‍ෂේප කර තිබිණි. කෙසේ වෙතත් ටජිකිස්ථාන ජනාධිපති Emomali Rakhmon තලෙයිබාන් පාලනය සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීම තරයේ ප්‍රතික්‍ෂේප කරනු ලබයි. තලෙයිබාන් පාලනය බලයට පැමිණීම හේතුවෙන් ඉස්ලාම් අන්තවාදීන් තම රට තුල හා දේශසීමා අවට විශාල ලෙස බලවත් වී ඇති බව ප්‍රකාශ කරන ජනාධිපතිවරයා තම රට අවට ආරක්ෂාව තර කිරීම සඳහා චීනය හා රුසියාව සමග ආරක්ෂක ගිවිසුම්වලටද එකඟ වී තිබේ. එසේම ප්‍රංශයද ටජිකිස්ථානයේ ආරක්ෂාව සඳහා සහය දීමට ඉදිරිපත් වී ඇත.

කෙසේවෙතත් මේ වන විට ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය සමග යුරෝපා සංගමය, ඇමරිකාව සාකච්ඡා පවත්වමින් සිටින අතර රුසියාව පසුගියදා තම කලාප සමුළුවකටද තලෙයිබාන් රජයේ නියෝජිතයන්ට ආරාධනා කර තිබිණි.

Facebook
Twitter
LinkedIn