ජුලියන් අසාන්ජ් ඉල්ලා ඇමරිකාව යලි බ්‍රිතාන්‍ය අධිකරණ සහය පතයි !

ජුලියන් අසාන්ජ් ඉල්ලා ඇමරිකාව යලි බ්‍රිතාන්‍ය අධිකරණ සහය පතයි !

නව පාලනයක් පත් වූ පමණින් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් නොවන බව යලි තහවුරු කරමින් ඇමරිකාව නැවත වරක් බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවේ සිටින ජුලියන් අසාන්ජ් තමන්ට බාර දෙන ලෙස ඉල්ලා එරට අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ඇමෙරිකාවේ ඉල්ලීම මීට පෙරදී බ්‍රිතාන්‍ය අධිකරණය ප්‍රතික්‍ෂේප කරලීම හේතුවෙන් ඇමරිකාව මෙලෙස අභියාචනයක් හරහා මෙම පියවර ගෙන ඇත. ඇමරිකානු රහස් ඔත්තු සේවය විසින් යවන ලද කේබල් පණිවිඩ 27000ක් ප්‍රසිද්ධ කරලීම හේතුවෙන් ජුලියන් අසාන්ජ්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත. ඇමරිකානු නීතිය අනුව ඔහුට වසර 175 ක සිර දඩුවම් හිමිවීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර 2017 දී මයික් පොම්පියෝ විසින් ඉක්වදෝර තානාපති කාර්යාලයේ ආරක්ෂාව මත සිටි ජුලියන් අසාන්ජ් මරා දැමීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බව බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත්පත පසුගිය සැප්තැම්බර් 26 වැනිදා හෙළිකර සිටියේය. ඇමරිකන් හමුදා විසින් ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ සිදුකරන ලද යුධ අපරාධ සම්බන්ධයෙන් තොරතුරු රැසක් මෙම කේබල් පණිවිඩ මගින් හෙළිවීම නිසා ඇමරිකන් CIA ව්‍යාපාරය ඉතිහාසයේ බරපතළම අර්බුදයකට මුහුණ දී ඇති බව ගාර්ඩියන් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර සිටි.

ගාඩියන් පුවත්පතේ මෙම හෙළිදරව්වත් සමග අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් ඔහුව ඇමරිකාවට ලබා නොදෙන ලෙස බ්‍රිතාන්‍ය අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව මෙම වසරේ ජනවාරි 4 වැනිදා ජුලියන් අසාන්ජ් ඇමරිකාවට පිටුවහල් කිරීම බ්‍රිතාන්‍ය අධිකරණය ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. නමුත් ඇමරිකාව බ්‍රිතාන්‍ය අධිකරණයෙන් ඉල්ලා සිටිනුයේ එරට 1917 දී පනවන ලද ඔත්තු බැලීම හා ඇමරිකාවට ද්‍රෝහිවීම නමැති නීතියට අනුව ජුලියන් අසාන්ජ් විසින් වැරදි 18ක් සිදුකර ඇති නිසා ඔහුව ඇමරිකානු අධිකරණයට ලබා දෙන ලෙසයි.

නමුත් වගඋත්තර පාර්ශ්වය පවසා සිටිනුයේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අනුව ඇමරිකානු ජනතාවට අයත් මෙම කේබල් පණිවුඩ මගින් සත්‍යය හෙළි කිරීම වරදක් ලෙස හැඳින්විය නොහැකි බවයි. බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණයේ තීන්දුව ලබාදීම සඳහා සති කීපයක් ගතවනු ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර සිටි. මේ අතර මධ්‍යස්ථ විචාරකයින් පවසා සිටිනුයේ ලොව පුරා තමන්ට හිලෑ නොවන පාලන තන්ත්‍ර විසින් ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් උල්ලංඝනය සිදුකරනවා යැයි කෑගසන මහා බ්‍රිතාන්‍ය හා ඇමරිකාව ජුලියන් අසාන්ජ් නඩු විභාගය හේතුවෙන් නිරුවත් වී ඇති බවයි. විශේෂයෙන් මෙම නඩු විභාගය පැවැත්වෙන අධිකරණ ශාලාව තුලට පවා ජනතාවට ඇතුළුවීමට අවහිර කිරීම තුලින් බ්‍රිතාන්‍යයේ අධිකරණ නිදහසද බරපතළ ලෙස හෑල්ලුවට ලක් වී ඇති බව ඔවුන් පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn