ඉතාලියේ වෙරෝනාහි මාමා බැම්බිනෝ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 11 සහ 3 වයස්වල පසුවන සිය දියණියන් දෙදෙනා ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් ඉතාලි පොලිසිය සොයමින් සිටියි.
ඝාතනයට ලක් වූ කුඩා දරුවන් දෙදෙනාගේ මළ සිරුරු පදිංචිව සිටි නිවසේ ඇඳන් මත තිබියදී සොයාගෙන ඇති අතර, හුස්ම සිර කිරීමෙන් ඔවුන් ඝාතනය කර ඇති බවට ඉතාලි පොලිසිය සැක කරති. දැරියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනීමෙන් පසු ඔවුන්ගේ මව වන 33 හැවිරිදි සචිත්‍රා නිසංසලා ප්‍රනාන්දු අතුරුදන්ව ඇතැයි එරට පොලිසිය පවසයි. දැරියන් දෙනෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් මව සැකකරන අතර ඇය සොයා මේ වනවිට ඉතාලි පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසේ.
මෙම ඝාතන සිදුවීම ඉතාලි මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමඟ මේ වනවිට සමස්ථ ඉතාලියම දැඩි ලෙස කම්පාවට පත්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ඝාතයය සිදුවූ ස්ථානයට එම ප්‍රදේශයේ නගරාධිපති ෆෙඩ්රිකෝ ස්බෝරිනා සහ සමාජ කටයුතු පිළිබඳ මන්ත්‍රී ඩනියෙලා මල්ලාරේ යන අයද පැමිණි බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
සබාදි සහ සඳනි යන දැරියන් දෙදෙනා තම මව සමඟ ඉතාලියේ වෙරෝනා නගරයේ පදිංචිව සිට ඇත්තේ අධිකරණය විසින් දරුවන්ගේ භාරකාරත්වය ඔවුන්ගේ පියාගෙන් ඇයට ලබා දීමෙන් පසුවය. කිසියම් මානසික ව්‍යාධියක් වැනි තත්ත්වයක් තුළ මෙම ඝාතන සිදුකළාද යන්න පිළිබඳවද එරට පොලිසිය සැකකරන අතර ඒ ඔස්සේද පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසේ.










