ගුරුවරු වයඹ ආණ්ඩුකාර කාර්යාලය වටලති

ගුරුවරු වයඹ ආණ්ඩුකාර කාර්යාලය වටලති

කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් අද (25) පස්වරුවේ වයඹ ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටිට පැමිණ දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.

ඔවුන් ආණ්ඩුකාර කාර්යාලයට යාමට උත්සහා කළද වයඹ පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසළට රැස්ව සිටි පොලිසිය විසින් එය නතර කරනු ලැබීය.

මෙම ගුරු පිරිස ආණ්ඩුකාර කාර්යාලය වෙත ගමන් කිරීමට උත්සාහ කළේ, කොමියුනිස්ට් පක්ධයේ හිටපු සභාපති, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ ගුරුවරුන් සම්බන්ධයෙන් ඉකුත් දා කළ ප්‍රකාශයට විරෝධය දක්වමිනි.

කුරුණෑගල ඔරලෝසු කණුව අසළ විරෝධතා පා ගමනින් පැමිණි පිරිස පළාත් සභා සංකීර්ණය වෙත ළඟාවූහ.

ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට 100කට වැඩි පොලිස් බලඇණියක් යොදවා තිබූ අතර ආණ්ඩුකාරවරයා හමුවීමට අවශ්‍ය බව ගුරු පිරිස දැන් වූ නමුත් පොලිසිය ඊට අවසර නොදීම නිසා දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය.

පසුව ලංකා ගුරු සේවා සංගමය වයඹ පළාත් ලේකම් එම්.ඒ විමලසිරි රැස්ව සිටි ගුරු පිරිස ඇමතීම සඳහා පළාත් සභා සංකීර්ණයේ පිහිටි තාප්පයක් මතට ගොඩවීමට උත්සාහ කළ අතර පොලිසිය විසින් එය වළක්වනු ලැබීය.

මෙහිදීත් දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර, ගුරුවරුන් විසින් විමලසිරි මහතා ඔසවා අදාල කණුව උඩට නැංවීය.

ඉන් පසු, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ ගුරුවරුන්ට එල්ලකළ තර්ජනයට ප්‍රතිචාර දැක්වූ අතර පසුව පිරිස විසිරගියහ.

Facebook
Twitter
LinkedIn