රාජපක්ෂ පවුලේ කිසිවෙකු හෝ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ කිසිම පුද්ගලයෙකු හෝ ජාත්‍යන්තර යුද අධිකරණයට රැගෙන යාමට කිසිසේත්ම ඉඩ නොදෙන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේය.
ලබන මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව යලිත් වරක් චෝදනා සම්මත කරගෙන මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යාමට සූදානම් වන බවට මහින්ද පිල විසින් ප්රවෘත්ති නිර්මාණය කර බෙදා හැරීමට පිළිතුරු වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ප්‍රකාශය කර තිබේ.
මෙම සාකච්ඡාවේදී, මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිටත් දැවැන්ත කටවුට් ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරමින් සිදු කරගෙන යන ප්රචාරක කටයුතු දැඩි ලෙස විවේචනයට ලක්කලේය.
“ලංකාවේ ඉතිරි ලයිට් කණුවලත්, සීගීරි ගලෙත්, සමනල කන්දෙත්, සිංහරාජෙත්, බෝක්කුවලත් ඕනෑ තරම් කටවුට් ගහ ගන්නා ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කියන්න කැමැතියි. අට වැනිදා වෙනතුරු ඕනෑ තරම් ගහගන්න.හැබැයි අට වැනිදායින් පසු ඒ කටවුට් මැතිවරණ කොමසාරිස් හා පොලීසිය ලවා ඉවත් කරනවා.” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.









