"නිවන් දකිත්වා අපගේ ජන නායක කැල……"

භෘංගයන් බඳින මීවල පැණි පිරුණු මී වද මෙන් ජීවිත පුරා පිරී තිබෙන, එහෙත් ලොවට නොපෙනෙන වද සොයා ඇදෙන්නට මේ කාලයයි.

මිනිසුන් ජීවත් කරවන්නේ බලා පොරොත්තු විසිනි. ඔවුහු අනාගත සිහින දකිති. ඒවා ඉටු කර ගැනීමට ජීවිතය කැප කරති. ඒ වෙනුවෙන් ඔවුන්ට විඳීමට සිදුවන ගැහැට අපමණ ය. ඒ අතරින් අහිංසක සිහිනයක් වන්නේ වාහනයක් හිමි කර ගැනීම හා එය නිදහසේ පැදවීමයි. ලෙහෙසි නැත. රිය පැදවීමේ බල පත‍්‍රයක් ලබා ගත යුතු ය. එය සියල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හොඳ ය. නමුත් දිනපතා සිදුවන වාහන අනතුරු පිළිබඳ සලකා බැලීමේ දී එකී ආරක්ෂාව සැලසේ දැයි ගැටලුවක් මතු වේ. අනෙක් අතට රියැදුරු බලපත‍්‍ර නොමැතිව ඉතා හොඳින් රිය හසුරුවන රියැදුරෝ කොපමණ මේ රටේ සිටිත් ද?

රිය පැදවීමේ බල පත‍්‍රයක් ලබා දිය යුතු ම නම් එය මහ ජනයාට හිරිහැරයක් නොවන පරිදි ලබා දීමට පාලකයින් වග බලා ගත යුතු ය. එහෙත් ලක් වැසි ජනයාට එය ලබා ගැනීමේ දී දෙතිස් වදය ම විඳීමට සිදු වේ. අදාළ බල පත‍්‍රය අපේක්ෂා කරන්නා ඒ සඳහා අයදුම් පත‍්‍රයක් යොමු කිරීමෙන් අනතුරුව හැකි ඉක්මනින් ඔහුට එය ලබා ගත හැකි විය යුතු ය. එහි ක‍්‍රියාවලිය ඕනෑවටත් වඩා සංකීර්ණ කරනු ලැබ තිබේ.

අයදුම් පත‍්‍රය ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව අපේක්ෂකයා වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු ය. එය නරක නැත. එහෙත් ක‍්‍රම වේදය නරක ය. වෛද්‍ය සභාවේ අනුමැතිය ලත් ඕනෑ ම වෛද්‍ය වරයෙකුගෙන් එය සිදු කර ගත නොහැකි ය. එසේ ම රජයේ රෝහලකින් නොමිලයේ කර ගැනීමට ද අවකාශ නැත. ඒ සඳහා ලියා පදිංචි කරන ලද ආයතනයක් වෙත ම යා යුතු ය. එම ආයතන ලියා පදිංචි ගාස්තුවක්  ගෙවිය යුතු අතර එය අවසානයේ බැර වන්නේ බලපත‍්‍ර අපේක්ෂකයාගේ ගිණුමටයි. ඉතාමත් වංචාකාරී ලෙස අහිංසක ජනයා සූරා කන අයුරු අපූරු ය. කුමන වෛද්‍යවරයාත් ලබා දෙන්නේ එක ම වෛද්‍ය සහතිකය බව පාලකයෝ නො දනිති.

රිය පැදවීමේ බල පත‍්‍රයක් ලබා ගැනීමේ දී රුපියල්  දෙදහසකට ආසන්න මුදලක් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු ය. එය ගෙවීම ද වදයකි. බැංකුවක් සොයා යා යුතු ය. ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනින්නා සේ බැංකුව ද එයින් රුපියල් දහයක පහළොවක සේවා ගාස්තුවක් අය කරයි. එතැනින් හෝ එම වදය නිමා වේ නම් සිත හදා ගත හැකි ය. එම ගාස්තුව පමණක් ගෙවා ඍජුව ම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය හරහා අදාළ බලපත‍්‍රය ලබාගන්නෝ අල්ප වෙති. ඒ පිරිස ද නොයෙක් දැන හැඳුනුම් කම් සහිත අය වීම විශේෂයකි. ඉතිරි සියල්ලෝ රියදුරු පුහුණු පාසල් හරහා අයදුම් කරති. ඒවායෙහි ගාස්තු වර්ග දෙකකි. සැහැල්ලු වාහන සඳහා පුහුණු කිරීම සහිතව නම් රුපියල් දහ අට දහසකි (රු.18,000). පුහුණුව රහිතව නම් දහතුන් දහසකි (රු. 13,000). දෙදහසකින් කර ගත හැකි ක‍්‍රියාවකට තව එකොළොස් දහසක් පමණ වැඩිපුර ගෙවන්නේ මන්ද? එහි නොපෙනෙන වදය මිල කළ නොහැක. එවන් වද විඳිනවාට වඩා දස දොළොස් දහසක් ගෙවීම පහසු බවට මතයක් සමාජයේ පවතී. මෙතෙකින් මෙය නිමා නොවේ. මේ හා බැඳුණු තව දිගුවක් ලබන සතියේ.

“නිවන් දකි
ත්වා අපගේ ජන නායක කැල……”

Facebook
Twitter
LinkedIn