මී වදයකි ජීවිතේ මීපැණි පිරිලා ඇතේ…..

මේ ජනප්‍රිය සිංහල ගීතයක මුල් කොටසකි. එහි අරුතට අනුව ජීවිතය ඉතා මිහිරිය. මී පැණි පිරුණ මී වදයකි. අදත් දනන් තුඩ තුඩ මේ ගී පද රැව් දෙමින් ඇසිය හැකිය. සැබෑවටම ජීවිතය මේ තරම් රසවත්ද?

සුළු පිරිසකට නම් ජීවිතය මී වදයක් විය හැකිය. එහෙත් බොහෝ දෙනෙකුට එය මළ වදයකි. එහි වදය සීමාව ඉක්මවා ගිය විට සියදිවි නසා ගනිති. දරුවන් ගඟට මුහුදට දමා මිය යෑම උතුම් කොට සළකති. අසන දකින සියල්ලෝම ලෙහි අත් ගසා කම්පා වෙති. එහෙත් එකී අමිහිරි ඵල ලබා දෙන හේතුව පිළිබඳව අමතක කරති. ජීවිතය මහා වදයක් වන්නේ කුඩා කුඩා වද බොහෝමයක් එකට එකතු වීමෙනි. ඒ පිළිබඳව විපරම් කිරීම මේ ලිපි පෙළෙහි අරමුණයි.

බොහෝ මිනිසුන්ට ජීවිතය වදයක් වන කරදර ඇතිකරන්නෝ දේශපාලකයෝය. මේ එවන් ආසන්නතම සිදුවීමකි.

එය නගර ආසන්න අතුරු මාර්ගයකි. යතුරු පැදියක නැගී යන පොලිස් නිලධාරීහු දෙදෙනෙකි. මාර්ගය දෙපස ඇති නිවෙස් හා කුඩා වෙළඳසැල් ඕනෑ කමින් බලමින් ගමන් කළ මේ දෙදෙනා ආපසු පැමිණෙද්දී කුඩා වෙළඳසැළක් අසළ නතර වූහ. කිසිදු අවසරයකින් තොරව වෙළඳසැළ පිහිටි ඉඩමට එක් නිලධාරියෙක් ඇතුලු වී ගෙවත්ත පිරික්සා වතුර සහිත පොල්කටුවක් රැගෙන ආවේය. එහි මදුරු කීටයන් සිටින බව පවසා අසවල් දින අධිකරණයට පැමිණෙන ලෙස දන්වා චෝදනා පත්‍රයක් වෙළද සැළ හිමි කාන්තාවට ලබා දුන්නේය. ඇය තුෂ්ණිම් භූතව ඒ දෙස බලා සිටියාය.

ඉන් පසු වෙළද සැලට පැමිණෙන අයට ඇය එම අවනඩුව කීවාය. පොලිස් නිලධාරීන්ට දෝෂාරෝපණය කළාය. මග වැටී සිටියත් පොලිස් නිලධාරියෙකුට වතුර පොදක් හෝ නොදෙන ලෙස ඉල්ලා සිටියාය. එහෙත් ඇතැමෙක් එම නිලධාරීන්ද අසරණ බව පැවසූහ. දවසකට නඩු පහක් ඔවුන් රැගෙන යා යුතු බවත් එසේ නොවුන හොත් ඉහළ නිලධාරීන්ගේ චෝදනාවන්ට ගොදුරු විය යුතු බවත් එහිදී ප්‍රකාශ කළේය. ජීවිතයේ වදය ගැට ගැසී ඇත්තේ මෙතනයි. ලංකාවේ අධිකරණයකට යෑම මී පැණි මෙන් රසවත් නොවේ. තමා සොයාගත් නඩුව අයුක්ති සහගත බව එම නිලධාරීන්ගේ හදවත දනී. ඔහුට එය වදයක් නොවන්නේ නැත.

මදුරුවන් බෝ වීම මිනිස් ජීවිතවලට තර්ජනයකි. ඔවුන් මර්දනය කළ යුතුය. ලොව භයානකම ත්‍රස්තවාදී සංවිධානය මර්දනය කළ අපට මදුරුවන් මර්දනය කරන එක සුළු දෙයක් යැයි වරෙක රජයේ ප්‍රබල ඇමතිවරයෙක් පැවසීය. එහෙත් කටේ නරි වාදම් දැන් රෙද්ද පල්ලෙන් බේරෙමින් ඇත. එහි ප්‍රතිඵල ජනතාව කරා අඩුවැඩි ප්‍රමාණයෙන් පැමිණෙමින් තිබේ. එවන් වදයක් සමඟ ලබන සතියේ හමුවෙමු.

Facebook
Twitter
LinkedIn