මිෂ්බාගෙන ඕස්ට්‍රේලියාවට එරෙහිව ලෝක වාර්තාවක්

(දෙවන සංස්කරණය) පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක, මිෂ්බා උල්හක් අද (02) ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව වේගවත්ම ටෙස්ට් ලකුණු 50 වාර්තාව තමන් සතු කරගැනීමට සමත්විය.

ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද (02) දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් මිෂ්බා උල් හක් පන්දු 21කදී ලකුණු 50 සීමාව පසුකිරීමට සමත් විය. දිවා ආහාරයට තරගය නතර කිරීමට අවසන් පන්දුවේදී ලකුණු තුනක් ලබා ගනිමින් ඔහු මෙම දස්කම් දැක්වීමට සමත් විය. මිෂ්බාගේ ඉනිමට හයේ පහර 04ක් හතරේ පහර 04ක් ඇතුළත් විය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කී දකුණු අප්‍රිකා ක්‍රීඩක ජැක් කාලිස් පන්දු 24කදී ලකුණු 50ක් රැස්කර තිබේ.

පකිස්ථාන කණ්ඩාම සිය දෙවෙනි ඉනිමට කඩුලු තුනක් දැවී ලකුණු 293ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. දෙවැනි ඉනිම වෙනුවෙන් අසාර් අලී නොදෙවී ලකුණු 100ක්ද නායක මිෂ්බා උල් හක් නොදෙවී ලකුණු 101ක්ද ලබා සිටියේය.

මිෂ්බා ලකුණු 101 ලබා ගැනීම වෙනුවෙන් වැයකර තිබුණේ පන්දු 57ක් පමණි. එය ඔහුගේ වේගවත් ශතකයද වේ. පළමු ඉනිමේ ඔවුන් කඩුලු 06කට රැස්කර ලකුණු 570ට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලු දෙනාම දැවී ලකුණු 261ක් පමණි.

මේ වනවිට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානුවන් කඩුලු 04ක් දැවී ලකුණු 116ක් ලබා දැඩි අසීරු තත්වයක පත් වී තිබේ. ඔවුන් පරාජයෙන් බේරීමට නම් තවත් ලකුණු 487ක් ලබා ගතයුතුය. හෙට තරගයේ අවසාන දිනයයි.


Facebook
Twitter
LinkedIn