පාර්ලිමේන්තුව පිහිටි දියවන්නා ඔය අවට පැතිරෙමින් පවතින ජලය දුර්වර්ණ වී අවපැහැ ගැන්වීමට හේතුව අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වීමක් නිසා ඇතිවන්නක් බව තහවුරු වී තිබෙන අතර මෙම පාරිසරික ගැටළුවට විසඳුමක් ලබා දීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ සඳහා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
මෙම ඇල්ගී වර්ධනය ඉදිරියේ දී තවදුරටත් නරක තත්ත්වයට පත්වීමේ අවධානමක් පවතින බවත් එම නිසා අවට පරිසරය තුළ දැඩි දුර්ගන්ධයක් පවා ඇතිවීමේ තත්වයක් ඉස්මතුවිය හැකි බවත් විශේෂඥයින් විසින් පෙන්වා දී තිබේ.
කැබිනට් මණ්ඩලයෙන් අදාළ යෝජනාව සම්මත වී එම කාර්ය සාධක බලකාය පිහිටුවන තුරු අදාල කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මේ සම්බන්ධව ක්‍රියා කළ හැකි පාර්ශ්ව කිහිපයක් දැනට හඳුනාගෙන ඇති බවත්, එම පාර්ශ්ව සමග සාකච්ඡා කර මෙම අසාමාන්‍ය ඇල්ගී වර්ධනය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය මුළික පියවර ගනිමින් සිටින බවත් පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
මෙවැනි ඇල්ගී වර්ධනයක් සිදුව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී තිරසර සංවර්ධන පිළිවෙත් නොසළකා හැරීම නිසා විය හැකි බවත් ලේකම්වරයා පෙන්වා දෙයි. මේ සම්බන්ධව ක්‍රියාකළ හැකි විශේෂඥ දැනුමක් සහිත පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡාවක් ලබන අගහරුවාදා අමාත්‍යාංශයේදී පවත්වන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.
මෙලෙස දියවන්නා ඔයේ ඇල්ගී වර්ධනය වීම ආරම්භ වී මේ වනවිට මාසයකට ආසන්න කාලයක් ගත වී තිබේ.










