අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් තවත් තර්ජනයක්… භාෂණයේ නිදහස කියා ඕන දෙයක් කරන්න අපි දෙන්නේ නැහැ…

භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින නමුත් එම නිදහසට මුවා වෙමින් ඕනෑම දෙයක් සිදු කරන තුරු බලා සිටීමට සූදානම් නොමැති බවත්, භාෂණයේ නිදහස වල්බූරු නිදහස් බවට පත්කර ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවත් අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි. අද (18) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

රජයට එරෙහිව, රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට එරෙහිව සංවිධානාත්මක පිරිස් විසින් සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරමින්, අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවත්, ඒ හරහා ජනතාව නොමග යැවීම සිදු කරන බවත් ඇමතිවරයා පවසයි. මෙවැනි පුද්ගලයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ එම කටයුතු අඩපන කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවද අධිකරණ ඇමති මෙහොමඩ් අලි සබ්‍රි පවසයි.

ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල ක්‍රියාත්මක එවැනි නීති පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත්, එම නීති අධ්‍යයනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ගැලපෙන නීති පද්ධතියක් සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අධිකරණ ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ සිදු නොකර අසත්‍ය ප්‍රචාර සිදුකරන්නේනම් එම ප්‍රචාරයන්ගේ සත්‍ය තත්වය පැහැදිලි කරදීමේ අවස්ථාව ආණ්ඩුව ලබාගත යුතු බවය.

Facebook
Twitter
LinkedIn