පෝට්සිටි කොමිෂන් පනත ඒකීය රාජ්‍ය සංකල්පයට පටහැනියි – නීතිඥ උපුල් කුමරප්පෙරුම

පෝට්සිටි කොමිෂන් පනත ඒකීය රාජ්‍ය සංකල්පයට පටහැනියි – නීතිඥ උපුල් කුමරප්පෙරුම

වරාය නගර කොමිෂන් සභාව පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත ඒකීය රාජ්‍ය සංකල්පයටද පටහැනි යැයි නීතීඥ උපුල් කුමරප්පෙරම සඳහන් කරයි.

“ලෝකයේ ඕනෑම රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ ඒ රටේ පැවැත්ම තීරණය කරන ප‍්‍රමුඛම ලේඛනය. යම් ආකාරයකින් ගොඩනැගිල්ලක අත්තිවාරම හා සමාන දෙයක්. රටක අනික් සියලූ කාරණා තීරණය වෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව මත පදනම් වෙලා. ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අංශ කිහිපයක් තිබෙනවා. රටේ ජනාධිපතිවරයා කියන්නේ කවුද? විධායකය කියන්නේ කවුද? පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද? අධිකරණය කියන්නෙ මොකක්ද? මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් මොනවාද? මූල්‍ය පාලනය සිදුකරන්නේ කොහොමද ආදී වශයෙන් කරුණු කාරණා රැසක් තිබෙනවා. රටේ සියලුම නීති, රටේ සියලු පාරිපාලන ඒකකයන්, රටේ අධිකරණයන් ගොඩනැගෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මත පදනම් වෙලා.

වරාය නගර කොමිෂන් සභාව සම්බන්ධයෙන් ආණ්ඩුවට හිතවත් පාර්ශ්වයන් මතුකරන ප‍්‍රධානම කරුණු කිහිපයක් තිබෙනවා. රටට ආර්ථික වශයෙන් හිතකර ව්‍යාපෘතියක් කියලා මූලික වශයෙන්ම හුවා දක්වනවා. උදාහරණයක් හැටියට ඩුබායිවල ඉන්න සුල්තාන්වරයා ගෙනැල්ලා රටේ ජනතාවට මාසයකට ඩොලර් 10,000 ගානේ බෙදාදෙන ආර්ථීක සැලසුමක් ඉදිරිපත් කර ජනාධිපති පදවියට පත්කරන්න කීවොත් මොකද කරන්නේ? මේ ගැන පැහැදිලි කරන්න වෙන්නේ ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්තිවලින්. වරාය නගරය සම්බන්ධයෙනුත් එහෙමයි. ඉදිරිපත් කර තිබෙන කෙටුම්ප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 4, 12, 75, 76 කියන වගන්ති උල්ලංඝනය වෙනවා කියන එක ඉතාම පැහැදිලියි.

ව්‍යවසාකයන් හෝ වෙනත් පදිංචිකරුවන්ට මේ වරාය නගරයට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා. පිටරටින් එන කෙනෙක් මෙම ස්ථානයේ පදිංචියට තෝරාගෙන මාස 06කට පසුව එහි වාසිකයෙක් බවට පත්වෙනවා. මෙවැනි අවස්ථාවකදී ඔහු යටත් වන්නේ මේ රටේ කුමණ පරිපාලනයකටද? මුලූ ලංකාවම මේ රටේ පාර්ලිමේන්තුවේ, අදාළ ප‍්‍රදේශයකට අයත් පලාත් සභාවේ එහෙමත් නැත්නම් අදාල පලාත් පාලන ආයතනයේ දේශපාලන බලාධිකාරියට යටත් වෙනවා. මේ හැම දේකටම ඉහළින් සමස්ත රාජ්‍යයටම අදාල දේශපාලන අධීකාරි බලය පතුරුවන ජනාධිපතිවරයෙක් ඉන්නවා. මේ වරාය නගරය කොළඹ මහනගර සභාවට, කොළඹ පරිපාලන දිස්ති‍්‍රක්කයට අයති වෙන්නෙත් නැතිව පාර්ලිමේන්තුවට වගකියන්නෙත් නැත්නම් මේ බිම්කඩෙහි දේශපාලන බලය තියෙන්නේ කොතැනද? තමන්ට වගකියන්නේ නැති බිම්කඩක් සම්බන්ධයෙන් විධායකයට හෝ පාර්ලිමේන්තුවට හෝ කළ හැකි බලපෑම මොකක්ද? මේ පනතේ තිබෙන ප‍්‍රධානම භයානකකම මේක.

මේ බිම්කඩ තුළ ජීවත් වන ජනයා පාලනය කරන යාන්ත‍්‍රණයේ වගකීම සම්බන්ධයෙන් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පළවැනි ව්‍යවස්ථාව කියවා බැලීම වැදගත්. වරාය නගරය තුළ තිබෙන සියලූම පහසුකම් එහි නේවාසිකයන්ට බුක්ති විඳීමේ හැකියාව තිබෙනවා. ඔවුන් කොළඹ නගරයට ඇතුල් වීමේදී යම් භාණ්ඩයක් ගෙන එනවා නම් බදු ගෙවන්න සිද්ධ වෙනවා. කොළඹ නගරයට ඇතුල්වන ගේට්ටුවේ රේගුවෙන් ඉන්නවා. එතකොට ඒකීය රාජ්‍යය කියන එක තව දුරටත් තියෙනවාද? අනික් පැත්තෙන් පෝට් සිටිය ඇතුළේ ඉන්න මිනිසුන්ට අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන පරමාධිපත්‍ය බලය තිබෙනවාද? පෝට් සිටියේ ජීවත් වන කෙනෙකුට අපේ රටේ කවර හෝ මැතිවරණයකදී ඡුන්දය දෙන්න පුළුවන්ද? රටේ පැවැත්මට අදාල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුල් වගන්ති සියල්ලම පනත් කෙටුම්පතෙන් උල්ලංඝනය වෙනවා. මම එවැනි වගන්ති කිිහිපයක් දක්වන්නම්.

කෙටුම්පතේ 27.3 සහ 27.4 කියන වගන්තිවලින් දක්වන්නේ වරාය නගරයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්. මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න වෙන්නෙ විදේශ මුදල් ඒකකවලින්. විදේශ මුදල් එක්කය මොකක්ද කියලා සඳහන් කරලා නැහැ. ලංකාව ඇතුළේ ඉන්න කෙනෙකුට විදේශ මුදල් ගිනුමක් තිබෙනවා නම් ඒ ගිණුමේ මුදල් පෝට් සිටිය තුළදී ගන්න බැහැ. ඒ වගේම ලංකාවේ ගිණුමක තිබෙන රුපියල් පෝට් සිටිය තුළදී ගන්නත් බැහැ. මේ රාජ්‍යය තුළ ඉන්න විශාල සමාගම්වලට විතරක් ඒ අවස්ථාව ලබාදී තිබෙනවා. මේ වගන්ති දෙක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියෙන් හැම කෙනෙකුගේම සමානාත්මතාවය තහවුරු කර තිබීම උල්ලංඝනය වෙනවා. ඒ වගේම 12.2 ව්‍යවස්ථාව, 14.7 ව්‍යවස්ථාව ආදී ව්‍යවස්ථා ගණනාවක් උල්ලංඝනය වෙනවා.

පනත් කෙටුම්පතේ 62, 63 වගන්ති තවත් වැදගත් කරුණු මතු කරනවා. යම් ව්‍යාපාරයකදී ගැටළු මතුවුවහොත් අනිවාර්යයෙන්ම සමථකරණයකට යා යුතු බව කියනවා. සමථකරණය සිදුවෙන්නෙ ජාත්‍යන්තර බේරුම්කාර මණ්ඩලයක් ඉදිරියේ. ගැටළුවක එක් පාර්ශ්වයක් සමථකරණයට අකැමැති වුනොතේ සිදුකරන්න වෙන විකල්පයක් නැහැ. රටෙ අධිකරණ ක‍්‍රමයේ ඉදිරියට යන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ රටේ අධිකරණයේ පැවැත්මට බලපෑමක් සිදුවෙනවා. මේ රටේ දෙකෝටි විසි ලක්‍ෂයක් ජනතාව එක පැත්තක සිටියදී අක්කර 1115ක ප‍්‍රදේශයේ ඉන්න අයට වෙනම ආකාරයකට සැලකෙනවා. අධිකරණ පද්ධතිය තුළ මේ රටේ ජනතාවගේ ලක්‍ෂ 7කට අධික නඩු විභාග වෙමින් තිබෙනවා. මම ඉපදෙන්නත් කලින් විභාග වෙන්න පටන් ගත් නඩු තාමත් අධිකරණය ඉදිරියේ තිබෙනවා. එහෙම තිබියදී පෝට් සිටි කලාපයේ ඉන්න අයට විශේෂත්වයක් දෙන්නේ කෙහොමද?

ඒ වගේම මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතත් සම්මත කර ගත්තා. ඒ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර තිබුණා. හැබැයි ඒ වෙනකොට මූලික අයිතිවාසිකම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබුණත් ඒ අයිතිවාසිකම් කි‍්‍රයාත්මක කිරීමේ බලයක් තිබුණේ නැහැ. එවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියක් ලබාගත යුතුව තිබුණා. නමුත් ඊට පසුව මේ රටේ අනාගත පරපුරට සෘජුව බලපාන ප‍්‍රශ්න සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ලබාදී තිබුණා. නමුත් පෝට් සිටි කොමිෂන් සභා පනතින් ආවරණය වන කලාපය තුළ එවැනි අවස්ථාකව මූලික අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා රටේ සියලූම ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත්වී පරාජය කිරීමට කි‍්‍රයාකළ යුතු බව අවසන් වශයෙන් සඳහන් කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn