අමානුෂික ලෙස මහමගදී පුද්ගලයකුට පහර දුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට

ඊයේ (29) දහවල් පන්නිපිටිය ප්‍රදේශයේදී ලොරි රථ රියදුරෙකුට මහපාරේ දමාගෙන අමානුෂික ලෙස පහරදුන් පොලිස් කොස්තාපල්වරයා අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් වන වීඩියෝවක් ඊයේ දින සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගයෙන් ප්‍රචාරය වූ අතර පොලිස් නිලධාරියාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදයක් එල්ල විය. මෙලෙස පහරකෑමට ලක්වූ පුද්ගලයා ලොරි රථ රියැදුරෙකු බව පැවසෙන අතර ලොරි රථය පදවාගෙන යද්දී රාජකාරීයේ යෙදී සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්ව තිබේ. අනතුරින් පසුව එම ස්ථානයේ රාජකාරී කරන කොස්තාපල්වරයා ඉතාමත් අසභ්‍ය ලෙස වචන භාවිතා කරමින් අමානුෂික අන්දමින් ලොරි රථයේ රියදුරාට පහර දෙමින් ඔහුව ඔසවා පොළවේ ගසන අයුරු එම වීඩියෝවෙහි දැක්වේ.

මෙම සිදුවීමෙන් පසුව අද (30) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ ඇක්සිඩන්ට් කළාම කේන්තියට ගමේ අය වටකර රියදුරුට ගහන ආකාරයට වෘත්තීය පොලිස් නිලධාරියෙකුට හැසිරිය නොහැකි බවත් රියැදුරා අත වැරදි පැවතිය හැකි නමුත් පොලිස් නිලධාරියා කළ පහර දීම පොලිසිය අනුමත නොකරන බවයි. මෙවැනි අවස්ථාවක සිවිල් වැසියෙකුට තම ආත්ම ආරක්ෂාව තකා ප්‍රතිප්‍රහාර එල්ලකිරීමේ හැකියාව පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ පහරදීම සිදුකළ පොලිස් නිලධාරියා අද (30) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

Facebook
Twitter
LinkedIn