ඓතිහාසික ඉරාක සංචාරය ආරම්භ කරමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් වතිකානයේ සිට සිව් දින සංචාරයක් සඳහා ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට පැමිණ ඇති අතර ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කඩීමි, ගුවන්තොටුපොළට ගොස් පාප්තුමන් පිළිගෙන තිබේ.
‘අලිටාලියා’ විශේෂ ගුවන් යානයෙන් පාප්තුමන් ඉරාකය වෙත පැමිණියේ විශේෂ ආරක්ෂාවක් සහිතවය. මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරාකය වෙත පාප්තුමෙකු පැමිණ ඇත්තේ පළමු වතාවට බව පැවසේ. මීට පෙර දෙවැනි ජෝන් පෝල් පාප්තුමන් ඉරාකයේ සංචාරයකට යෑමට සූදානමින් සිටියත් 1999 වසරේදී එම සංචාරයට අදාලව සදාම් හුසේන්ගේ රජය සමඟ පැවැත්වුණු සාකච්ඡා අසාර්ථක වූ බැවිනි පාප්තුමන්ගේ එම සංචාරය අවලංගු විය.
දීර්ඝ කාලයක් පුරා යුද ගැටුම්, දේශපාලන හැලහැප්පීම්වලින් හෙම්බත්ව සිටින ඉරාක වැසියන්ට සාමය අවශ්‍ය බවත්, තමන් ඉරාකයට පැමිණියේ සාමයේ පණිවුඩය රැගෙන බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පවසා ඇත. ඉරාක මුස්ලිම් ප්‍රජාව හමුවීමටත්, මුස්ලිම් ආගමික නායකයන් හමුවී සාමය ගැනත් සහජීවනය ගැනත් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමටත් තමන් අපේක්ෂා කරන බව 84 හැවිරිදි පාප්තුමා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.










