බටහිර රටවල හා යුක්රේනයේ බටහිර ගැති ආණ්ඩුවේ විරෝධය නොතකා නැගෙනහිර යුක්රේනයේ ඩෝනෙට්ස් හා ලුහාන්ස්ක් පළාත්වල අද (11) ජනමත විමසුමක් පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ.
රුසියානු හිතවාදී කොටස් විසින් මෙම ජනමත විමසුම පවත්වනු ලබන්නේ, නැගෙනහිර යුක්රේනයේ ස්වයංපාලනයක් තිබිය යුතුද නැද්ද යන්න විමසා බැලීමටය. මේ වන විට යුක්රේන හමුදා නැගෙනහිර ප්රදේශවල රුසියානු හිතවාදී කැරලිකරුවන් සමග සමග සටන්වැදී සිටී.
ජනමත විමසුමට අදාළ ඡන්ද පත්රිකාවේ සඳහන් වනුයේ එක් ප්රශ්නයකි. “ඩෝනෙට්ස්/ලුහාන්ස්ක් මහජන ජනරජයේ ස්වයංපාලනය ඔබ අනුමත කරන්නේද?” යනුවෙන් එහි සඳහන්ය. මෙම ජනමත විමසුමෙන් පසුව රුසියාවට සම්බන්ද වීම පිළිබඳව තවත් ජනමත විමසුමක් පැවැත්වීමට සංවිධායකයෝ අපේක්ෂා කරති. එසේම මැයි 25 වැනි දිනට නියමිත යුක්රේනියානු ජනාධිපතිවරණය වර්ජනය කරන බවද ඔවුහු පවසති.
මීට පෙර යුක්රේනයේ ක්රිමියා ප්රදේශයේ ජනමත විමසුමක් පවත්වනු ලදුව එය රුසියාවට එක්වීමට තීරණය කළෙන් එම ප්රදේශය රුසියාවට ඈඳා ගැනීමට ජනාධිපති පුටින් පියවර ගත් අතර පසුගිය 09 වැනි දින එහි පැවති වීර දින සමරුවට පුටින්ද පැමින සිටියේය. මෙම පියවර බටහිර රටවල සහ යුක්රේනයේ දැඩි විවේචනයට ලක්ව තිබිණි.









