රැම්සා තෙත් බිම් ඩෝසර් කළ කෙනා ප්‍රදේශයෙන් පලා ගිහින්… ඇමති සී.බී – නැහැ එයා ගෙදර ඉන්නවා – රාජ්‍ය ඇමති සනත් නිශාන්ත

රැම්සා තෙත් බිම් ඩෝසර් කළ කෙනා ප්‍රදේශයෙන් පලා ගිහින්… ඇමති සී.බී – නැහැ එයා ගෙදර ඉන්නවා – රාජ්‍ය ඇමති සනත් නිශාන්ත

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් ඩෝසර් කළ බවට කමිටු වාර්තාවෙන් හෙළිවී ඇති පුද්ගලයා තමන් හඳුන්වන්නේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු වශයෙන් මිස ඇමති සනත් නිශාන්ත මහතාගේ සොහොයුරෙකු වශයෙන් නොවන බවත් එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පොලිසිය ඔහුව සොයන මුත් මෙතෙක් ඔහුව එම ප්‍රදේශයෙන් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා පසුගිය 11 වනදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

රැම්සා තෙත් බිම් ඩෝසර් කිරීමට උපදෙස් දුන් ජගත් සමන්ත නැමැත්තා මේ වනවිටත් ඔහුගේ නිවසේම නිරුපද්‍රිතව සිටින බවත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පැවසීම බොරුවක් බවත් මෙය පොලිසියේ නොහැකියාව නිසා සිදුකරනු ලබන ප්‍රකාශයක් බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මාධ්‍ය වෙත පවසා තිබිණි.

“වැරදිකරු නම් මං කිව්වෙ ඒකයි ඔහුගේ තරාතිරම අදාළ වෙන්නෙ නැහැ, පරීක්ෂණ වාර්තාවෙ කියන්නේ අපි කමිටුවක් දැම්මා ඒ කමිටු වාර්තාවෙ තියෙනවා මේ වගේ උපදෙස් දෙන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුගේ කට උත්තරයක් ගැනීම සඳහා කටයුතු කරන්න සූදානම් වෙනකොට ඔහු ඒ පළාතෙ නැතිකම තමයි දැනට කියන්නෙ නියෝජ්‍ය පොලිස්පතිතුමා.

අමාත්‍යවරයෙක්ගෙ සහෝදරයෙක් කියලා එකක් නෙවෙයි, හිටපු සභාපතිවරයෙක් කියන එක තමයි එතන තියෙන්නෙ.

රැම්සා ගිවිසුම යටතේ තෙත් කලාපයක් බවට පරිවර්තනය කළා නම් පොඩි එකක්ද ලොකු එකක්ද කියලා නැහැ, ඒකට කාටවත් අනවසරයෙන් ඇතුළු විය නොහැක. ඒ නිසාම තමයි අපි නීතිය ක්‍රියාත්මක කළේ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කර ඇත.

ජගත් සමන්ත නැමැත්තා තම සහෝදරයා බව මේ වනවිටත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාද ප්‍රකාශ කර තිබෙන පසුබිමක වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා මෙලෙස පැවසීමද පුදුම සහගත ය.

ජගත් සමන්ත යනු අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරෙකු බව වනජීවී අමාත්‍යාංශය කිසිදු තැනක සඳහන් කර නොමැති බව එහිදී අමාත්‍යාංශ නිලධාරියෙකුද එම මාධ්‍ය හමුවේදී මාධ්‍ය වෙත අවධාරණය කර ඇති අතර ඔහු ඇමති සොයුරෙකු බව කියන්නේ සමාජය බවත් එම නිලධාරියා සඳහන් කර ඇත. සී.බී. රත්නායක ඇමතිවරයා පැවසන්නේද එම ජගත් සමන්ත යන පුද්ගලයාගේ උප්පැන්න සහතිකය තමන් නොබැලූ බවකි.

Facebook
Twitter
LinkedIn