SLMC විශ්වවිද්‍යාල තහනම ගැන රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්…!

SLMC විශ්වවිද්‍යාල තහනම ගැන රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්…!

කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව රුසියානු සමූහාන්ඩුවේ ප්‍රමුඛපෙළේ රාජ්‍ය විශ්ව විද්‍යාල 03ක් වන මහජන මිත්‍රත්ව සරසවිය (කලින් ලුමුම්බා සරසවිය නමින් හඳුන්වන ලද), පිරගොෆ් රුසියානු ජාතික පර්යේෂණ වෛද්‍යවිද්‍යා සරසවිය සහ ත්වේර් රාජ්‍ය වෛද්‍යවිද්‍යා සරසවිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සිය පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගන්නා ලද තීරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය නිවේදනයක් නිකුත්කර තිබේ.

1960 වසරේ සිට මේ දක්වාම අඛන්ඩව ශ්‍රී ලාංකීක සිසුන් සදහා රුසියානු රජය විසින් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමා ඇති අතර ඉන් පරිබාහිරව වාර්ශිව විශාල සිසුන් ප්‍රමාණයක් රුසියාවේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය අධ්‍යාපනය සදහා මෙරටින් රුසියාවට යනු ලබයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මෙම තීරණය නිසා ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රියාවලිය ඇණහිටීමෙන්, ශ්‍රී ලාංකික සිසුන්ට ලැබෙන මාහැඟි අවස්ථාවක් අහිමි වීම සිදු නොවනු ඇතැයි රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

කොළඹ රුසියානු මධ්‍යස්ථානය
(ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය)

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වසර 60 ක් ඉක්මවන රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසයක් පවතින අතර එම කාලය මුළුල්ලේම රුසියාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල විසින් ශ්‍රී ලාංකීය සිසුන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබයි. එමගින් ශ්‍රී ලංකාවට අවශ්‍ය, විශේෂයෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි කීර්තිමත් වෘත්තිකයන් බිහි කිරීමට රුසියාව දායකත්වය දී ඇත.

මෙම පසුබිමෙහි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් රුසියාවේ ප්‍රමුඛ රාජ්‍ය විශ්වවිද්‍යාල තුනක් වන මහජන මිත්‍රත්ව සරසවිය (කලින් ලුමුම්බා සරසවිය නමින් හඳුන්වන ලද), පිරගොෆ් රුසියානු ජාතික පර්යේෂණ වෛද්‍යවිද්‍යා සරසවිය සහ ත්වේර් රාජ්‍ය වෛද්‍යවිද්‍යා සරසවිය සිය පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගන්නා ලද තීරණය පිළිබඳ රුසියාවේ දැඩි අවධානය යොමුව තිබේ. පසුගිය වසර කිහිපය මුළුල්ලේ ම, ශ්‍රී ලංකාවට පැමිණි මෙම සරසවිවල නියෝජිතයන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අතර නිරන්තර සාකච්ඡා සිදු වී තිබියදීත්, වෛද්‍ය සභාවට එම විශ්වවිද්‍යාල මගින් ගෙවිය යුතු ගාස්තු ද ගෙවා තිබියදීත්, මෙම තීරණය ගෙන ඇත්තේ කිසිදු ආකාරයක පූර්ව දැනුම්දීමකින් තොරව ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මෙම තීරණය හේතුකොටගෙන, ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රියාවලිය ඇණහිටීමෙන්, ශ්‍රී ලාංකික සිසුන්ට ලැබෙන මාහැඟි අවස්ථාවක් අහිමි වීම සිදු නොවනු ඇතැයි රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය බලාපොරොත්තුව පළ කරයි.

සංස්කෘතික අංශය
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

Facebook
Twitter
LinkedIn