බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය පසුගිය සතියේ පැවැත්විණ. බස්නාහිර අයවැය ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරයේම හිස් ලියවිල්ලක් හා පුස් දෙඩවිල්ලක් පමණක් විය.
බස්නාහිර පළාතේ ජනතාවගේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3750ක් බවත්, පළාතේ ජනගහනය මිලියන 5.8ක් බවත් මෙවර අයවැය ලේඛනයේ සඳහන් විය. ඒ අනුව පළාතේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 21,750ක් හෙවත් ඩොලර් බිලියන 21.7කි. ඒකපුද්ගල ආදායම රුපියල් 43,125ක් පමණවේ. සාමාන්‍යයෙන් එක් පවුලක සිව් දෙනෙකු සිටී නම් පවුලේ මාසික ආදායම රුපියල් 1,72,500ක් විය යුතුය.
පළාතේ ජනගහනය හා ආදායම පිළිබඳ සංඛ්‍යාලේඛන නිවැරදි නම් ඒකපුද්ගල ආදායම නිවැරදි වියයුතුය. ඔබ බස්නාහිර පළාතේ ජීවත්වන අයෙක් නම් ඔබ මාසිකව රු. 1,75,000කට ආසන්න ආදායමක් ලබන පවුලක සාමාජිකයෙක් බව ආණ්ඩුව කියා සිටී. වැරදී ඇත්තේ ගණන් හිලව් නොවේ. පළාතේ ධනය බෙදී ගිය ආකාරයයි.
පාසලේ තීන්ත ගෑමට ගේන්නැයි කියූ රුපියල් 400ක් සොයා ගැනීමට අල්ලපු වත්තේ පොල්ගෙඩි 8ක් සොරකම් කළ දැරියක් පිළිබඳ වාර්තාවූවේ ද මේ බස්නාහිර පළාතේම හොරණ ප්‍රදේශයෙනි. අධ්‍යාපනයේම කොටසක් බාර එස්.බී. දිසානායක ඇමතිවරයා මාධ්‍යයට කීවේ රුපියල් ලක්ෂ ගණනක ඒකපුද්ගල ආදායමක් ලැබෙන ‘ආශ්චර්යමත්’ රටේ මේ සිදුවීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව ය. 1997දී ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස පත්ව 2008 ජාතිය ගොඩනැගීමේ ඇමතිවරයා වනවිට වසර 10ක් තුල රුපියල් මිලියන 450ක් ඉපයූ ආකාරය තවමත් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමට හෙළි නොකළ වර්තමාන වරාය ව්‍යාපෘති ඇමතිවරයා සිටින්නේ ද බස්නාහිර පළාතේය.
රටේ දළ ජාතික නිෂ්පාදිතය මේ වන විට ඩොලර් බිලියන 60කි. රටේ ජනගහනය කෝටි 2ක් නිසා ඒකපුද්ගල ආදායම ඩොලර් 3000ක් ලෙස ගණන් බලා ඇත. ඒ අනුව 4දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයකට ඩොලර් 1000ක හෙවත් රු.1,37,000ක ආදායමක් ‘පොතේ හැටියට’ ලැබිය යුතුය. පළාත් අයවැයේ දී මෙන්ම ජාතික තලයේදී ද වැරදී ඇත්තේ ගණන් හිලව් නොවේ. රටේ ධනය බෙදී ගිය ආකාරයයි.
ඉතා මෑතකදී සරත් අමුණුගම ඇමතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ ආකාරයට රටේ පොහොසත්ම පවුල් 20%ට ජාතික ආදායමෙන් 54%ක් උරුම වෙද්දී දුප්පත්ම පවුල් 20%ක් අයත් කරගෙන සිටින්නේ මුළු ආදායමෙන් 4%ක් පමණකි. රටේ ජනතාවගෙන් 42%ක් තවම උපයන්නේ දිනකට ඩොලර් දෙකකට හෙවත් රු. 275කට වඩා අඩුවෙන් බව ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන මගින්ම පෙන්නුම් කර ඇත. forbes asia සඟරාවට අනුව මේ වනවිට ලංකාවේ ලොකුම ධනපතියා වන ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරාගේ වත්කම ඩොලර් මිලියන 550 කි.
රටේ හෝ පළාතේ ධනය සාධාරණව ජනතාව අතර බෙදීමට තබා අයවැය ප්‍රතිපාදන සාධාරණව තම ඇමතිවරුන් අතර බෙදාදීමට පවා පාලකයන් කටයුතු කර නැත. මධ්‍යම ආණ්ඩුවේ අයවැයෙන් 70%ක්ම බෙදාගෙන ඇත්තේ රාජපක්ෂවරුන් විසිනි. ඒ ජනාධිපතිවරයා නඩත්තුවට 2014 වසර සඳහා රුපියල් ම්ලියන 8570ක් වෙන්කර ගැනීමට අමතරවය. රට කිරිවලින් ස්වයංපෝෂිත කරන බවට පුරසාරම් දොඩන ආණ්ඩුව සමස්ත පශු සම්පත් සංවර්ධනයටම වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 3500ක් පමණි.
බස්නාහිර පළාත් අයවැයෙන් 70%ක් බදාගෙන ඇත්තේ මහ ඇමතිවරයාය. ඉතිරි ඇමතිවරුන් අතරින් තිදෙනෙකුගේ අමාත්‍යංශ වැය ශීර්ෂවල එකතුව මුළු අයවැයෙන් 6.5%කි.
දැන් රට ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය ආර්ථිකයේ මෙම බරපතල විෂමතාවය තුරන්කිරීමයි. ජාතික ධනය ඉපිදවීමට වෙහෙසෙන පොදු ජනතාවට ඔවුන්ට රටේ ආර්ථිකයේ හිමි නියමිත සාධාරණ පංගුව ලබාදීමයි. ජනතාවගේ වැඩිවන අවශ්‍යතාවයන්ට සාපේක්ෂව ඊට සමගාමීව තවදුරටත් නිෂ්පාදනය පුළුල් කිරීමයි. ඒ සඳහා අපේ රටේ මානව සම්පත හා වටිනා ස්වභාවික සම්පත ප්‍රයෝජනයට ගැනීමයි. ජනතා විමුක්ති පෙරමුණ අනාගතයේ ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙලේ දළ සැලසුම එසේය.
දැන් රටේ ආර්ථිකය දුවන්නේ දෙමටගොඩ දුම්රිය එන්ජිම වාගේය. 1977 විවෘත ආර්ථික පීල්ලේ තැබූ රටේ ආර්ථික එන්ජිම රියදුරෙක් ඇතත් නැතත්, සිග්නල් දමා තිබුනත් නැතත් ඔහේ ඉදිරියට යයි. කාලෙන් කාලෙට රියදුරු අසුන භාරගන්නා පුද්ගලයා කවරෙක් වුවත්-ජේ.ආර්. ද, පේ‍්‍රමදාස ද, චන්ද්‍රිකා ද, රනිල් ද, රාජපක්ෂලා ද කියා වෙනසක් නැතිව ආර්ථික එන්ජිම එකම පීල්ලේ ඔහේ ධාවනය වේ.
ආර්ථිකය මෙසේ හැසිරවීමට ආණ්ඩුවක් වුවමනා නැත. ජනතාව පටි තද කරගෙන 107ක ජම්බෝ ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නේ ආර්ථිකය විධිමත් ලෙස හසුරුවාවි යන අපේක්ෂාවෙනි. නමුත් ඔවුන්ට අංක එක වී ඇත්තේ තම ‘පවුලේ ආර්ථිකය’ විනා ‘ජාතියේ ආර්ථිකය’ නොවේ. කකුළු නායකයා අනුව සහචරයන් ද ඇදේටම යනු විනා කෙලින් ගමනක් තිබිය නොහැක.









