ඇමේසන් වනාන්තරයේ දින ගණනාවක සිට ඇතිව තිබෙන ගින්න නිවීම සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර සැපයීමට G7 සමුළුව නියෝජනය කරන රටවල නායකයින් එකඟතාව පළකර තිබේ.
මේ සම්බන්ධව අදහස් පලකරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සඳහන් කර ඇත්තේ ඇමේසන් වනයේ ඇතිව තිබෙන ගින්න නිවීම සඳහා G7 සමුළුවේ රටවල් ඇමරිකානු ඩොලර් මිලියන 22ක මුදලක් වෙන්කර ඇති බවය.
එසේම ඉදිරි පැය කිහිපය තුළ මූල්‍යාධාර ලබාදීමටත් අවශ්‍ය හමුදා සහය සහ ගිනි නිවීමේ ගුවන් යානා ලබාදීමටත් පියවර ගන්නා බව ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධව බ්‍රසීල ජනාධිපති ජයීර් බොල්සොනාරෝ දැඩි විවේචනය පළකර තිබේ. ඒ ඇමේසන් වනාන්තරය සුරැකීමට සන්ධානගතව උපකාර සැපයීම බ්‍රසීලය යටත් විජිතයක් සේ සැළකීමක් වන බව පවසමිනි. එසේම බ්‍රසීලයේ ස්වාධිපත්‍යට ගරුකළ යුතු බවත් ඇමේසන් වනාන්තරය පැතිර පවතින රටවල් සමඟ සන්ධානගතව මෙම ගින්න නිවීමට සැළසුම් සකස් කළයුතු බවත් ජයීර් බොල්සොනාරෝ පවසා තිබිණි. එම සැළසුම් සම්බන්ධව මේ වනවිටත් කොළොම්බියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බව ද ඔහු සඳහන් කර ඇත.
ඇමේසන් ගින්න හටගැනීමෙන් දින ගණනාවක් ගතවුවද බ්‍රසීල ජනාධිපතිවරයා පියවරක් ගෙන නොතිබූ අතර පසුව එල්ලවූ ජාත්‍යන්තර බලපෑම් හේතුවෙන් ගිනි නිවීමේ කටයුතු ඇරඹීය.
කෙසේ වෙතත් බ්‍රසීල පරිසර අමාත්‍යවරයා පවසා ඇත්තේ G7 රටවල ආධාර පිළිගැනීමට සූදානම් බවය.
කැනඩාව, ප්‍රංශය, අමෙරිකාව, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ බ්‍රිතාන්‍යය යන රටවල් G7 රටවල් වන අතර ඊයේ(26) ප්‍රංශයේ බයාරිට්ස් නුවරදී මෙවර සමුළුව ආරම්භ විය.










