එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණි අවස්ථාවක මහජන පීඩාවක් ඇතිවන අයුරින් විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවතින නඩුව නොවැම්බර් මස 4 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(05) නියෝග කර තිබේ.
විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් මහජන පීඩාවක් ඇතිවන අයුරින් සහ නීති විරෝධී අයුරින් විරෝධතාවයක් දක්වා ඇති බවට පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර ඊට අදාල නඩුව අද දිනයේ කැඳවා තිබිණි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අසනීප තත්වයක් බව පවසමින් අද දිනයේ අධිකරණය මගහැර සිට ඇති අතර වෛද්‍ය වාර්තා ද සමඟ ඉදිරි නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරිය අවවාද කර ඇත.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අමතරව පියසිරි විජේනායක, මොහොමඩ් මුසම්මිල්, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න ඇතුළු හය දෙනෙක් ඊට හවුල් වී යැයි පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ.










