පාවිච්චි කළ මෙට්ට සමග එංගලන්තයෙන් කුණු ගොඩක් ගෙන්වලා – නැවත යවන්නැයි නියෝග

පාවිච්චි කළ මෙට්ට සමග එංගලන්තයෙන් කුණු ගොඩක් ගෙන්වලා – නැවත යවන්නැයි නියෝග

කටුනායක ප්‍රදේශයේ ආයතනයක් විසින් එක්සත් රාජධානියේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ඇති පාවිච්චියෙන් පසුව ඉවත් කරන ලද පරණ මෙට්ට තොගයක් අඩංගු කන්ටේනර් 98ක් කොළඹ වරායේ තිබී ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිළිබඳ සිදු කළ මූලික විමර්ශනයකින් පසු එම කන්ටේනර් තොගය යලි එංගලන්තය වෙත හරවා යැවීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත.

එම කන්ටේනර්වල තිබී කාපට්, ප්ලාස්ටික් හා පොලිතීන් වැනි ද්‍රව්‍යයන්ද කීටයන්, මැරුණු පැළෑටි, දිලීර හා පක්ෂීන්ගේ පිහාටු වැනි අපද්‍රව්‍යද පරීක්ෂණවලදී හමුවී ඇති අතර මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරව මෙම පරණ මෙට්ට තොගය ගෙන්වා ඇති බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පාවිචිච් කළ මෙට්ට ආනයනය කරන බවට මෙම ආයතනය රේගුවට ප්‍රකාශ කළද ගෙන්වා ඇත්තේ කුණු ගොඩක් බව රේගුව පවසයි.

කන්ටේනර් 102ක් මෙරටට ආනයනය කළ බවට මෙම ආයතනය රේගුවට දැනුම් දී තිබුණද ඊයේ වනවිට සොයා ගැනීමට හැකිවී ඇත්තේ ඉන් කන්ටේනර් 98ක් පමණක් වන අතර මෙම පාවිච්චි කළ මෙට්ට අඩංගු කන්ටේනර්වල පාරිසරික අන්තරායක ද්‍රව්‍ය අඩංගු විය හැකි බවට දැඩි සැකයක් පවතින බවත් විශාල සෞඛ්‍ය හා පාරිසරික අවදානමක් ඇතිවිය හැකි බවත් රේගු පාරිභෝගික ආරක්ෂක ඒකකය හා මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මේ අනුව මෙම භාවිත කළ මෙට්ට තොගය අඩංගු කන්ටේනර් සියල්ල එක්සත් රාජධානියටම යළි ප්‍රතිඅපනයනය කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දන්වා ඇත.

මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුව, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, එක්සත් ජාතින්ගේ පාරිසරික අංශය හා නිරෝධායතනය පුළුල් විමර්ශනයක් සිදුකරන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn