තමා සතුව හමුදාමය ගති පැවතුම් හා ෆැසිස්ට්වාදී ඒකාධිපති ස්වභාවයන් පවතින බවත් තමන් රටේ ජනාධිපති වුවහොත් එම හැසිරීම් රටාවන් වෙනස් කරගන්නා බවත් නව වාමාංශික පෙරමුණ හමුවේ ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වූ බව එම පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නව වාමාංශික පෙරමුණේ නායකයින් අතර පසුගිය 16 වැනිදා පැවති හමුවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පොරොන්දුව ලබාදී තිබේ.
පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ හමුදා සේවයේ යෙදී සිටි බැවින් තමා තුළ එම ලක්ෂණ ඇතිව තිබූ බවත් රටේ ජනාධිපති වුවහොත් එම ලක්ෂණ මගහැරගන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකර ඇති මෙම ප්‍රකාශය ඔහු විසින් පසුගිය දිනවල සිදුකළ ප්‍රකාශ හා නොගැලපේ. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පොරොන්දුව හරහා පැවති කළු දශකයේ ඒකාධිපති පවුල්වාදී සහ මිලිටරි ලක්ෂණ පිළිගෙන තිබේ. මාධ්‍ය ආයතන වලට බෝම්බ ගසමින් , මාධ්‍ය ආයතන ගිනි තබමින් හා මාධ්‍යවේදීන් ඝාතනය කරමින් මෙන්ම තමන්ට එරෙහි පිරිස් සුදුවෑන් මගින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරමින් සහ අයිතීන් ඉල්ලූ විරෝධතාකරුවන් ඝාතනය කරමින් පැවති කළු දශකය මේ හරහා ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන ඇත.
ගෝඨාභය රාජපක්ෂ සතුව මිලිටරි ලක්ෂණ ඇති බැවින් ජනාධිපතිවරණ අපේක්ෂකයාවීමට ගෝඨාභය රාජපක්ෂ නුසුදුසු බව වාසුදේව නානායක්කාර මහතා පසුගිය දිනවල ප්‍රසිද්ධියේ කියා සිටියේය. නමුත් මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් පොරොන්දුවක් මගින් වාසුදේව නානායක්කාර මහතාගේ සහ එම පක්ෂයේ තීරණය වෙනස් වී ඇත.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම හැසිරීම බලය ලබාගැනීමේ උපක්‍රමයක් දැයි සැක කිරීමට සාධාරණ හේතු මේ වනවිටත් ඇත.










