ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාව 126 වැනි ස්ථානයට පැමිණ තිබේ.
දේශසීමා විරහිත මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය සැකසීම සඳහා මෙවර රටවල් 180ක දත්ත අධ්‍යනය කර තිබිණි.
2018 වසරේ මධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයට අනුව නෝර්වේ රාජ්‍යය මෙම දර්ශකයේ පළමු තැනටත්, ෆින්ලන්තය දෙවැනි ස්ථානයටත් ස්වීඩනය තෙවැනි තැනටත් පත්ව ඇත. නෙදර්ලන්තය සිවුවැනි ස්ථානයට පත්ව ඇති අතර ඩෙන්මාර්කය පස්වැනි තැනට පත්ව සිටී. ස්විට්සර්ලන්තය, නවසීලන්තය, ජැමෙයිකාව, බෙල්ජියම සහ කොස්ටරිකා රාජ්‍ය පිළිවෙළින් හයවැනි ස්ථානය සිට දසවැනි ස්ථානය ලබාගෙන සිටී.
ආසියාතික රටවල් සැළකීමේදී මාධ්‍ය නිදහස දර්ශකයේ පහළ ස්ථාන ලබාගෙන තිබීම විශේෂත්වයකි. අසල්වැසි ඉන්දියාව 140 වැනි ස්ථානයට පත්ව සිටින අතර, පාකිස්තානය 142 වැනි ස්ථානයටත්, මාලදිවයින 98 වැනි ස්ථානයටත්, භූතානය 80 වැනි ස්ථානයටත්, බංග්ලාදේශය 150 වැනි ස්ථානයටත් පත්ව ඇත. ඇෆ්ගනිස්තානය මෙම දර්ශකයේ 121 වැනි ස්ථානය ලබාගැනීම ද විශේෂත්වයකි.
එක්සත් රාජධානය මෙම දර්ශකයේ 33 වැනි ස්ථානය දිනාගෙන තිබෙන ඇමෙරිකාවට හිමිව ඇත්තේ 48 වැනි ස්ථානයයි. චීනය 177 වැනි ස්ථානයට පත්ව ඇත. උතුරු කොරියාව 179 වැනි ස්ථානයට පත්ව සිටී. මෙම දර්ශකයේ අවසන් ස්ථානය හිමිව ඇත්තේ ටර්ක්මෙනිස්තානයටයි.
පසුගිය වසරේ නිකුත් කරන ලද මාධ්‍ය නිදහස සම්බන්ධ වාර්තාවේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 131 වැනි ස්ථානය වූ අතර එය මෙම වසරේ 126 දක්වා ඉහළ ස්ථානයකට පැමිණීමට සමත්ව ඇත.
මෙම වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකාව සම්බන්ධව පවසා ඇත්තේ සංවේදී සිදුවීම් වාර්තාකරණයේදී තවදුරටත් සැළකිලිමත් විය යුතු බවත් පළිගැනීම්වලට බිය නොවන ලෙස ආණ්ඩුව ප්‍රකාශ කළද සත්‍ය තත්වය ඊට වඩා වෙනස් බවය.
පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුකළ ප්‍රසිද්ධ ඝාතනයක් වන ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධව විමර්ශන සිදුවුවද ඒවා කල් මරමින් තවමත් දිග ඇදෙමින් ඇත. එසේම මාධ්‍යවේදීන් බියගැන්වීම්, තර්ජනය කිරීම, ආරක්ෂක අංශ මාධ්‍යවේදීන්ට ඇතැම් ස්ථානවලට ගමන් කිරීමට නොදීම, මාධ්‍යවේදීන් ප්‍රතික්ෂේප කිරීම, විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර සිටින මාධ්‍යවේදීන් හිරිහැරවලට ලක්වීම සහ දෙමළ මාධ්‍යවේදීන් පොලිසියේ සහ හමුදාවේ ඉලක්ක බවට පත්වීමේ සිදුවීම් රැසක් පසුගිය වසරේදී ද වාර්තා වී ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.










