උදයන් පුවත්පත් මුද්‍රණාලය ගිනිතැබීම පිළිබඳ ආණ්ඩුවේ හිස් ප්‍රකාශවලින් සත්‍යය යටපත් කළ නොහැකි බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරදවමින් මේ පිළිබඳව වැදගත් කරුණු අණාවරණය කරගනිමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ කියා සිටී.
නිවේදනයක් නිකුත් කරන ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩලය පවසන්නේ, ගිනි තැබීම සිදුකර ගෙන ඇත්තේ උදයන් පුවත්පත විසින්ම බව කියමින් ආණ්ඩුව වගකීමෙන් නිදහස් වීමට උත්සාහ දරණ බවයි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
යාපනය නගරයේ පිහිටි උදයන් පුවත්පතේ මුද්‍රණාලයට ගිනිතබා මේ වන විට දින 03ක් ගතවී තිබේ. මුහුණු ආවරණය කරගත් හා ටී 56 ගිනි අවි රැගත් තිදෙනෙකු එම මුද්‍රණාලයට කඩා වැදී මුද්‍රණාලයට හා මුද්‍රණය කර තිබූ පුවත්පත් තොගයට ගිනිතබා විනාශ කළ සිදුවීම වාර්තා වූයේ පසුගිය 13වැනිදාය.
මේ සිදුවීම මෑත කාලයේ උදයන් පුවත්පතට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාර මාලාවක වර්ධනීය අවස්ථාවකි. පසුගිය 03වැනිදා එම පුවත්පතේ කිලිනොච්චි බෙදාහැරීමේ කාර්යාලයට පහරදී පුවත්පත් ගිනිතබා තිබිණි. ඊට පෙර ජනවාරි මාසයේ උදයන් ඇතුළු තවත් දෙමළ මාධ්‍ය පුවත්පත් බෙදාහැරීමේ නියෝජිතයන්ට පහරදීමේ සිදුවීම් කිහිපයක්ද වාර්තා විය.
කෙසේ වුවද පෙර සිදුවීම්වලදී පරිදිම මෙම ගිනිතැබීමේ සිදුවීමටද වගකිව යුතු කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී නොමැත. පොලීය පවසන්නේ, මේ පිළිබඳව පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවය. පොලිස් පරීක්ෂණ නිම නොවී තිබියෙදී වුවද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරදවමින් මේ පිළිබඳව වැදගත් කරුණක් අනාවරණය කර ගෙන තිබේ. ඒ, ආණ්ඩුවට මඩ ගැසීම සඳහා මෙම ගිනි තැබීම සිදුකර ගෙන ඇත්තේ උදයන් පුවත්පත විසින්ම බවය.
ඒකධිපතිවාදයේ ජඩ වුවමනාවන් වෙනුවෙන් ජනමාධ්‍යයේ නිදහස වළ දමනු රිසි මෙවැන්නවුන් හිට්ලර් අප්‍රසාදයට පත් කරනු පිණිස ජුලියස් පුචික් සියතින් ගෙල වැළලාගෙන මිය ගිය බවටද එවකට එ.ජා.ප. ආණ්ඩුව අපහසුතාවට ලක්කිරීමට රිචඞ් ද සොයිසා මුහුදට පැන දිවි නසා ගත් බවටද කරුණු දක්වනු නොඅනුමානය. කෙසේ වුවද ආණ්ඩුවේ මේ හිස් ප්‍රකාශවලින් සත්‍යය යටපත් කළ නොහැකිය. මේ මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇත්තේ ආණ්ඩුවේ අනුදැනුම ඇතිව ආණ්ඩුවේම මැර කණ්ඩායම් බවට කිසිවෙකුත් සැක නොකරනු ඇත. මන්ද මේ මොහොතේ උතුරේ හෝ දකුණේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රශ්නයක් වී ඇත්තේ ආණ්ඩුවට පමණක් වීම නිසාය.
උතුරේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ලබාදීම සඳහා මැතිවරණ පැවැත්වීමට තමන් සූදානම් බවට ප්‍රකාශ කරන අතරතුරේම එම ප්රජාතන්ත්රවාදී අයිතීන්වලටම අයත් අනුඋල්ලංඝනීය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දැන් සිටම පැහැරගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ආණ්ඩුවේ නොවන අදහස් යටපත් කර ආණ්ඩුව උතුරේ ජනතාවට ලබාදීමට යන ‘බලහත්කාරී ප්රජාතන්ත්රවාදයේ’ තරම මෙම සිදුවීම් විසින් මනාව පිළිබිඹු කරයි. ඉදිරි කාලය තුළ තමන් හොඳින් හැසිරෙන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවේ පොරොන්දු වී පැමිණ ඇති ආණ්ඩුවේ මෙබඳු ප්රජාතන්ත්රවිරෝධී හැසිරීම්වලින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවක් ලෙසට තමන්ගේ වගකීම් විරහිතභාවයය; අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට පාර කැපීමටත් රට අධිරාජ්‍යවාදී බලපෑමට යටත්කිරීමටත් තමන්ට ඇති වුවමනාවය. ඒ අනුව ආණ්ඩුවේ මේ හැසිරීම හුදු අමනෝඥකමට වඩා තක්කඩිකමක් වේ.
මේ තත්වය තුළ පුවත්පත් මුද්‍රණාලය ගිනිතැබීමේ සිදුවීමට වගකිවයුතු සියලූදෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට ආණ්ඩුවට අවධාරණය කරන අපි ආණ්ඩුවේ ප්රජාතන්ත්රවිරෝධී හැසිරීමට එරෙහිව අත්වැල් බැඳගන්නාමෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවන්ගෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.
දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2013.04.16









