අධ්‍යාපන බලධාරීන් විද්‍යාපීඨ සිසුන් අතරමංකරලා – CTSU

අධ්‍යාපන විද්‍යාපීඨ ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසන් විභාගයේදී, හදාරා නොමැති විෂය නිර්දේශයකට අනුව පිළිතුරු සැපයීමට සිදුවීමෙන් අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන් අපහසුවට පත්ව ඇති බවත් ඔවුන් බරපතළ ලෙස අපහසුතාවයට පත්කරමින් මෙලෙස කටයුතු කිරීම සම්බන්ධ වගකීම විභාග කොමසාරිස්වරයාත්, අධ්‍යාපන ඇමතිවරයාත් භාරගත යුතු බවද අවධාරණය කරමින් ලංකා ගුරුසේවා සංගමය (CTSU) විසින් අධ්‍යාපන ලේකම් වරයාට යොමුකරන ලද ලිපියක් එම සංගමය විසින් මාධ්‍යවෙත නිකුත් කර තිබේ.

ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව යොමුකර ඇති එම ලිපියේ මෙසේද සඳහන්වේ.

“මෙවර 3000ක් පමණ වන අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන් ප‍්‍රමාණයක් පෙනී සිටින අධ්‍යාපන විද්‍යාපීඨ ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසන් පරීක්‍ෂණයේදී ඔවුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන ලද ප‍්‍රශ්ණ පත‍්‍ර හදිසියේම නව විෂය නිර්දේශයකට අදාලව ලබාදීම තුළ ඔවුන් මහත් වික්ෂිප්තභාවයකට පත්ව තිබේ.  සියලුම භාෂා මාධ්‍ය (සිංහල, දෙමළ, ඉංගි‍්‍රසී) වලින් පලමු වරට මෙම පරීක්‍ෂණයට පෙනී සිටින සියලුම සිසුන් මින් අපහසුතාවයට පත්ව තිබේ.

මෙම සිසුන්ට තම අධ්‍යාපන කාලය තුළදී මෙකී නව නිර්දේශයට අනුව අදාල විෂය කරුණු උගන්වා නොමැති අතර අදාල බලධාරීන්ගේ නොසැලකිලිමත් බව හෝ අදූරදර්ශී කම හේතුවෙන් මෙම සිසුන්ට තමන් හදාරා නොමැති විෂය කරුණු වලට අනුව සකස් කළ ප‍්‍රශ්ණ පත‍්‍ර වලට පිළිතුරු සැපයීමට සිදුව තිබේ.

මෙම විෂය නිර්දේශය හදිසියේ වෙනස් කිරීම හේතුවෙන් විශේෂයෙන් වෘත්තීය විෂයන්ට පිළිතුරු සැපයීමේදී සිසුන් මහත් දුෂ්කරතාවයන්ට පත්ව සිටී. මෙහිදී බරපතළම දුෂකරතාවයන්ට පත්ව සිටින්නේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් මෙකී  නව නිර්දේශයේ අදාල ප‍්‍රශ්ණ පත‍්‍ර වලට මුහුණදුන් සිසුන්ය. රුවන්පුර, පස්දුන්රට යන අධ්‍යාපන විද්‍යාපීඨවල ඉංගී‍්‍රසි මාධ්‍ය සිසුන් මේ හේතුවෙන් බරපතළ පීඩනයකට පත්ව සිටී.

තවද මෙකී නව නිර්දේශයට අනුව සකස් කළ ප‍්‍රශ්න පත‍්‍රවල විෂය කරුණු පමණක් නොව ප‍්‍රශ්න පත‍්‍රයේ ව්‍යුහයද වෙනස් කර තිබීම තුළ සිසුන්ගේ බලවත් විරෝධය අදාල නිලධාරීන්ට හා බලධාරීන්ට එල්ල කරමින් සිටිති.

අධ්‍යාපන ඇමති ඇතුළු අධ්‍යාපන බලධාරීන්ගේ අදූරදර්ශී හා සැලසුමකින් තොර අවිධිමත් කි‍්‍රයාකලාප හේතුවෙන් දිගින් දිගටම ජාතික විභාග ඇතුළු මෙම දෙපාර්තමේනතුව මගින් සිදුකරන සියලුම විභාග අවුල් කළ බවට රටේ සියලුම සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු මුළුමහත් ජනතාවම හොඳින් දන්නා කරුණකි. මෙම සිද්ධිය ද එහි තවත් එක් ප‍්‍රකාශනයක් පමණි. අධ්‍යාපන බලධාරීන්ගේ නොසැළකිලිමත්කම හා අදුරදර්ශී කම හේතුවෙන් අසාධාරණයට පත්වූ ඉහත අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ට සාධාරණය ඉටුකිරිම පිණිස පියවර ගන්නා ලෙසට අධ්‍යාපන ඇමතිවරයාටත් ආන්ඩුවටත් අප සංගමය අවධාරණය කරන අතර අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන් බරපතළ ලෙස අපහසුතාවයට පත්කරමින් මෙලෙස කටයුතු කිරීම සම්බන්ධ වගකීම විභාග කොමසාරිස්වරයාත්, අධ්‍යාපන ඇමතිවරයාත් භාරගත යුතු බවද අවධාරණය කර සිටිමු.”

Facebook
Twitter
LinkedIn