මහරගම සභාපතිට එරෙහිව කම්කරුවෝ පාරට බසිති

මහරගම සභාපතිට එරෙහිව කම්කරුවෝ පාරට බසිති

මහරගම නගර සභාවේ සභාපතිවරයා විසින් ඊයේ (06) සිදු කළ පහරදීමට විරෝධය පලකරමින් සහ ටිරාජ් ලක්රුවන් සභාපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් එම නගර සභාවේ සියලුම කම්කරුවන් මේ වනවිට නගර සභාව ඉදිරිපිට විරෝධතාවයකට එක්වී සිටිති.

මහරගම නගර සභාවේ විදුලි අංශයේ කම්කරුවන් සිව් දෙනෙකු ඊයේ සිය වැඩ මුරය අවසන් කර නිවෙස් බලා යමින් සිටින අතර තුර පන්නිපිටිය “බෝගහ ලඟ රෙස්ටුරන්ට් එක” ලෙස හඳුන්වන ස්ථානයට ගොස් මත්පැන් පානය කරමින් සිටයදී හදිසියේම එම ස්ථානයට කඩා වැදී තිබෙන සභාපතිවරයා එම කම්කරුවන්ට පහරදී ඔවුන්ව නගරසභාවේ සිය කාර්යාලය වෙත ගෙන ගොස් ඇත.

එහිදී ඉතාමන් නින්දිත ලෙස මෙම කම්කරුවන් සිව් දෙනා දණ ගස්සවා පහරදී තිබේ.

මීට පෙරද සභාපති ටිරාජ් ලක්රුවන් විසින් මාර්ග අංශයේ කම්කරුවන් පිරිසකට මෙලෙසම පහරදී ඇති බව අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් කම්කරුවන් විසින් පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර ඇති අතර මෙලෙස කම්කරුවන්ට පහරදීමට විරෝධය පල කරමින් සහ මැර සභාපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් නගර සභාවේ සියලුම කම්කරුවන් මේ වනවිටත් විරෝධතාවයේ නිරතව සිටිති.

Facebook
Twitter
LinkedIn