උක් කර්මාන්ත ශාලාව ඉදිකිරීමට දෙහිගම වනය වැනසීමට පැමිණි පිරිස ජනතාව පන්නාදමයි…

උක් කර්මාන්ත ශාලාව ඉදිකිරීමට දෙහිගම වනය වැනසීමට පැමිණි පිරිස ජනතාව පන්නාදමයි…

ඌව වෙල්ලස්සේ ඉඩම් අක්කර 62,500ක ඉඩම්, උක් වගාවට බිලි දීම සඳහා මානබලමීන් සිටින ආණ්ඩුවේ ආශිර්වාදය යටතේ දෙහිගම ප්‍රදේශයේ ජනතා ඉඩම් ඩෝසර් කිරීමට පැමිණි පිරිස එම යන්ත්‍රෝපකරණද සමග පන්නා දැමීමට එම ප්‍රදේශයේ ජනතාව කටයුතු කර තිබේ.

වර්තමාන ආණ්ඩුවේ අනුමැතිය යටතේ සිංගප්පූරුවේ ගැසර්වෙන්චස් සමාගම වෙත රිදීමාලියද්ද, මහියංගනය, ලුණුගල, බිබිල, මැදගම, මඩුල්ල, පදියතලාව සහ මහඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08න් ඉඩම් අක්කර 62500ක් ලබා දීමට පිඹුරුපත් සකස් කරමින් තිබෙන අතර ගැසර්වෙන්චස් සමාගමේ මෙරට නියෝජිත සමාගම වන අයි.එම්.එස්. හෝල්ඩින්ස් සමාගමේ නිලධාරීන් සමග පැමින උක් කර්මාන්ත ශාලාව ඉදිකිරීමට මුල් ගල් තැබීමටත් ඒ අවට වනය ඩෝසර් කිරීමටත් සූදානම් වී ඇත. කෙසේ නමුත් ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී, ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා දංකුඹුර විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පෙරටුකොටගෙන ජනතාවද සමග එම ස්ථානයට පැමිණ විරෝධය පල කර තිබේ. එම විරෝධය පල කිරීම් හමුවේ අයි.එම්.එස්. හෝල්ඩින්ස් සමාගමේ නිලධාරීන්ට ඩෝසර් ඇතුළු යන්ත්‍රෝපකරණද රැගෙන ආපසු යාමට සිදුව ඇත.

මහා සංඝරත්නය ඇතුළු ජනතාවගේ විරෝධතා නොතකා යම් හෙයකින් උක් වගාව පටන් ගතහොත් පළමු උක් පැලය සිටුවන මොහොතේ තමන් වහන්සේ සිවුරට ගිනි තබාගන්නා බව දන්කුඹුර විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කර තිබේ.

මෙහිදී ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතාද ජනතාව ඇමතූ අතර ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ආර්.එම් ජයවර්ධන මහතා, දිගාමඩුල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස මහතා ඇතුළු මහජන නියෝජතයින්ද ප්‍රදේශවාසීන්ද විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.

ජනතාව කැති පොරෝ අතැතිව සිටීමද විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn