ලංවිම වෘත්තීය සමිති නායකයින්ගේ වැඩ තහනම ඉවත් කළා – ලංවිම ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

ලංවිම වෘත්තීය සමිති නායකයින්ගේ වැඩ තහනම ඉවත් කළා – ලංවිම ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ඇතුළු අත්තනෝමතික ලෙස වැඩ තහනමට ලක් කර සිටි වෘත්තීය සමිති නායකයින් හය දෙනා යළි සේවයට එක්කර ගත් බව ලංකා විදුලි බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මෙලෙස යළි සේවයට එක් කරගෙන තිබෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය තුළ සිදු වූ මහා පරිමාණ මූල්‍ය වංචාවට එරෙහිව අරගල දියත් කිරීමේ චෝදනාව මත වැඩ තහනමට ලක්කර සිටි ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ඇතුළු විවිධ වෘත්තීය සමිතිවලට අයත් ක්‍රියාකාරිකයින් හය දෙනෙකි.

තමන්ගේ සේවය තහනම් කිරීමට ලංකා විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය ගෙන තිබූ තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අදාළ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයින් හයදෙනා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ලංකා විදුලි බල මණ්ඩලය මෙම දැනුම්දීම සිදු කර ඇත.

පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දැනුම් දී තිබුණේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය වංචාවකට එරෙහිව පක්ෂ පාට භේදයකින් තොරව ලංකා විදුලිබල වෘත්තීය සමිති සන්ධානය ඉකුත් ජනවාරි මස 17දා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කළ බවයි.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආණ්ඩුකම ව්‍යවස්ථාවට සහ වෘත්තිය සමිති ආඥා පනතට අනුකූල ආකාරයෙන් සිදුකළ නමුත් ඉන් අනතුරුව තමන්ගේ සේවය තහනම් කිරීමට විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය ක්‍රියා කළ බව පෙත්සම්කරුවෝ  පෙන්වාදී තිබිණි.

එම පෙත්සම අද නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම වැඩ තහනමට ලක්කර ඇති වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හය දෙනා යළි සේවයට අනුයුක්ත කර ගන්නා බවයි.

ඒ අනුව පෙත්සම සමථයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Facebook
Twitter
LinkedIn