මහින්ද පිලේ නායකයින් කොළඹ හෝටල් කාමරවල – ආධාරකරුවෝ මහ පාරේ – සත්‍යග්‍රහ නතර කර ජනතාව ගෙවල්වලට යති

මහින්ද පිලේ නායකයින් කොළඹ හෝටල් කාමරවල – ආධාරකරුවෝ මහ පාරේ – සත්‍යග්‍රහ නතර කර ජනතාව ගෙවල්වලට යති

ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගිවී සිටින මහින්ද පිලේ දේශපාලඥයින් සහ ඔවුන්ගේ සමිපතයින් ඊයේ (05) රාත්‍රියේදී නවාතැන් ගැනීම සදහා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයක කාමර වෙන් කරවාගෙන ඇති බවට වාර්තා වේ.

මේ අතර ජනබලය විරෝධතාවයට පැමිණ සිටින විරෝධතාකරුවන් ඊයේ රාත්‍රිය වනතුරු ලේක්හවුස් වටරවුම අසල මාර්ගයේ වාඩිවී සිටි අතර මහින්දානන්ද අලුත්ගමගේ, සනත් නිශාන්ත සහ දිලුම් අමුණුගම යන මන්ත්‍රිවරු ඇතුළු පිරිසක් රාත්‍රි 10 පමණ වනතෙක් විරෝධතාකරුවන් අතර රැඳී සිටින අයුරු දක්නට ලැබුණි.

කෙසේ නමුත් පැමිණ සිටි ජනතාවගෙන් අති බහුතරයක් රාත්‍රී 10, 11 පමණ වනවිටත් ආපසු පිටත්ව ගොස් තිබූ අතර මධ්‍යම රාත්‍රිය වනවිට බීමත්ව තැන තැන වැටී සිටි කිහිපදෙනෙකු හැර අන් සියල්ලෝම පාහේ ආපසු පිටත්ව ගොස් තිබිණි.

විරෝධතාවයට පැමිණි ජනතාව පස්වරු 6.45ට පමණ ඉටිපන්දම් දල්වා සත්‍යග්‍රහය ආරම්භ කළ නමුත් එම පිරිස ඉටිපන්දම් තැන තැන විසිකිරීම නිසා  “අතේ තියෙන පන්දම් නිවන්න. පන්දම්වලින් අනවශ්‍ය දේවල් කරන්න එපා” යැයි නිවේදනය කිරීමට එම සංවිධායකයින්ටම සිදු විය. ඒ හේතුවෙන් එම සත්‍යග්‍රහය ක්ෂණිකව අවසන් වූ අතර පසුව  ස්වාමීන්වහන්සේලා විසින් සෙත් පිරිත් දේශනාවක්ද සිදුකළහ. සහභාගී වී සිටි පිරිස පාලනය කර ගැනීමට සංවිධායකයින්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

අද (06) අළුයම වනවිටත් කොළඹ ලේක්හවුස් වටරවුම, කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සහ විහාරමහාදේවී උද්‍යානයේ දැඩි දුඟඳක් මෙන්ම කැළි කසළවලින් පිරී ඉතිරී ගොස් තිබිණි.

මේ අතර බීමත්ව තැන තැන වැටී සිටි විරෝධතා කරුවන්ව සුවසැරිය ගලන් රථ මගින් රෝහල් කරා ගෙන යන අයුරුද දක්නට ලැබිණි.

මූලාශ්‍ර neth news

 

Facebook
Twitter
LinkedIn